Aokighara හෙවත් සියදිවි නසාගැනීමේ වනාන්තරය

2019-08-08


   ජීවිත වලට ප්‍රශ්න කරදර එනවා.  හැබැයි ඒ හැමදේකටම විසඳුම තමන්ගේ ජිවිතයට සමුදීම කියලා හිතනවා නම් එය තරම් වැරදි තීරණයක් තවත් කොතනවත් නෑ. හැබැයි අවාසනාවකට ප්‍රශ්න වලට මුහුණ දෙනවා වෙනුවට බොහොමයක් දෙනා තෝරාගන්නා පිළිවෙල වෙන්නේ සියදිවි නසා ගැනීමයි.

   ජපානයේ Aokighara වනාන්තරය කියන්නේ සියදිවි නසා ගැනීම සඳහා ලෝකයේ තියෙන ජනප්‍රියම ස්ථාන අතරින් එකක්. ජපානයේ ෆුජි ගිණි කන්ද පාමුල වයඹ දිශාවට වෙන්න පිහිටලා තියෙන මේ වනාන්තරය Suicide  Forest ලෙස හඳුන්වන්නේත් ඒ නිසාමයි. මනාව වැඩුණු වෘක්ෂයන්ගෙන් පිරී තියෙන නිසාම Sea of trees යන නමිනුත් හඳුන්වනු ලබනවා. මෙම වනාන්තරයේ සම්පුර්ණ බිම වැසී තියෙන්නේ යමහල් පාෂාණ වලින් වන අතර මෙම වනාන්තරය තුල සතුන් දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන් බව කියවෙනවා. ඒ නිසාමදෝ මෙම වනාත්තරය හැම විටකම මහා ගුප්ත නිහඬතාවයක් උසුලනවා.

   මේ වනාන්තරය තුලින් මේ දක්වා සියදිවි නසා ගැනීම් 500 ක් පමණ වාර්තා වෙලා තියෙනවා. 2003 වසරේදී පමණක් මෙම වනාන්තරයෙන් සොයාගත් මළසිරුරු සංඛ්‍යාව 105 ක් පමණ වෙනවා.

   1960 වසරේදී සෙයිචෝ මත්සුමොටෝ  නම් ලේඛකයෙක් විසින් ලියන ලද “Kuroi Jukai” නම් මෙම වනාන්තරයට පැමිණ සිය දිවි නසාගන්නා පෙම්වතුන් දෙදෙනෙකුගේ කතාවක් නිසා මෙම වනාන්තරය තුල සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාව ඇති වෙන්න ඇති බවට විශ්වාසයක් තිබුනත් මේ වනාන්තරය තුල සියදිවි නසා ගැනීම් වාර්තා වෙන්නේ මීට පෙර සිට බව කියවෙනවා.

   ඒ වගේම 1993 වසරේදී Aokighara වනාන්තරයේ සිදුවුන සිය දිවි නසා ගැනීම් ගැන ලියවුන තවත් පොතක් වටරු සුරුමුයි නම් වූ ලේඛකයෙක් ලියා පල කරනවා. The Complete Suicide Manual නම් වුන පොත වාර්තා පිට වාර්තා තබමින් අලෙවි වූ බව කියවෙනවා. ඒ වගේම Aokighara වනාන්තරය තුලදී මියගිය පුද්ගලයින්ගේ බඩුබාහිරාදිය අතර තිබී මේ අත්පොත හමුවීම සාමාන්‍ය සිදුවීමක් බවත් කියවෙනවා.

   සියදිවි නසා ගැනීමේ අරමුණෙන් Aokighara වෙත පැමිණෙන අය අතරින් බොහෝ දෙනෙක් එය සිදු කරන්නේ ගෙල වැලලාගෙන වෙන අතර නිදි පෙති පානය විෂ ද්‍රවය ශරීරයට එන්නත් කර ගැනීම වගේ ක්‍රම හරහාත් තම ජිවිතයට සමුදෙන පිරිස් මේ අතර වෙනවා.

   “ජීවිතය කියන්නේ දෙමව්පියන්ගෙන් ලැබුණු වටිනා ත්‍යාගයක්. ඔබේ දෙමව්පියන්ව සිහියට නංවා ගන්න. ඔබේ පවුලේ අනිත් සාමාජිකයන්ව මතකයට නංවා ගන්න. ඔබ තනි වෙලා දුක් විඳින්න අවශ්‍ය නැහැ. අවට දුරකථන කුටි ඕනෑ තරම් තියෙනවා. අපට කතා කරන්න. ඔබට උදව් කරන්න අපි එන්නම්.

   Aokighara වෙත පැමිණෙන ඕනෑම සංචාරකයෙකුගේ නෙත ගැටෙන පරිදි සටහන් කර ඇති මෙම සටහන සිය දිවි නසාගැනීමේ අරමුණ ඇතිව එහි පැමිණෙන අය වෙනුවෙන් ජපාන පාලන අධිකාරිය විසින් සටහන් කොට ඇත්තේ සිය දිවි නසා ගැනීමෙන් සිදුවන මරණ යම්තාක් දුරකට හෝ අවම කර ගැනීමේ අරමුණ ඇතිවයි.