බොරැල්ල කනත්තේ ඉතිහාසය කියවන්න කැමතිද?

2019-01-21


   බොරැල්ල කනත්ත කිව්වා ගමන් ඔයාගේ ඔලුවට එන්නේ සුසාන භූමියක් බව මම දන්නවා. ඇත්තටම අද මම ලියන්න යන්නෙත් බොරැල්ල පොදු සුසාන භුමියේ ඉතිහාසය ගැන තමයි. හැබැයි කනත්ත කියන්නේ කරකොප්පුව  / සුසාන භූමිය කියන තේරුම් දෙන වචනයක් නෙමෙයි. හැබැයි දැන්නම් කනත්ත කියන වචනය සුසාන භූමියට සමාන පදයක් වෙන තරමටම ජනගත වෙලා ඉවරයි.

   සුසාන භුමි වලට කනත්ත කියා අමතන්න හේතු වෙන්නෙත් මේ බොරැල්ල පොදු සුසාන භූමියම තමයි. බොරැල්ල පොදු සුසාන භුමිය පිහිටා තිබෙන ප්‍රදේශය මුල් අවධියේදී හඳුන්වලා තියෙන්නේ කනත්තවත්ත විදියටයි. ඊට එහා ඉඩම කිතුල්වත්තයි. බොරැල්ලෙන් පටන්ගත්ත මේ වචනය අද වෙද්දී සියලුම සුසාන භූමි හඳුන්වන්න යෙදෙන පදයක් වී අවසානයි. මේ නිසාම කනත්තවත්තගේ , කනත්ත මුහන්දිරම්ගේ වගේ උසස් කුලවලට අයිති පෙළපත් නාම කිහිපයක්ම භාවිතයෙන් දුරස්වෙන්නට මෙයම  හේතුවක් වෙන්න ඇති .

   අද වෙද්දී බොරැල්ල සුසාන භූමියට අයත් විවෘත බිම අක්කර 50 කට විතර සීමා වෙලා තිබුණට අද බොරැල්ල කනත්තේ සිට බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිහිටලා තියෙන භුමිය දක්වා ප්‍රදේශය පැරැන්නන් එදා හඳුන්වලා තියෙන්නේ කුඹි කැලේ නමිනුයි.

   1866 ඔක්තෝම්බර් 28 වෙනිදා වයස අවුරුදු 55 ක්ව සිටියදී මියගිය වැන්දඹු කාන්තාවක් මෙම භුමියේ මුලින්ම මිහිදන් වූ බව කියවුණත් මෙහි ඉතිහාසය ඊටත් වඩා පැරණි ඇති යැයි කියවෙනවා. 1977 ට පෙර අවධියේ මෙම සුසාන භුමිය තාප්ප වලින් වටවෙලයි තිබිලා තියෙන්නේ. මේ නිසාම විවිධ දුරාචාර වලට මෙම භුමිය භාවිතා වෙලා තියෙනවා. 1977  මැතිවරණ වේදිකාවල ප්‍රධාන චන්ද පොරොන්දුවක් වෙලා තියෙන්නේ මේ තාප්පය වෙනුවට යකඩ වැටක් ඉදිකර දීමයි. එය අවුරුදු 10 කට පසුව UNP ආණ්ඩුවෙන් ඉටු කර දීලා තියෙන්නේ ගම් උදාව සෙල්ල කතරගම භුමිය වටකොට තිබූ යකඩ වැට පාවිච්චි කරලලු.

   ලංකාවේ ජනප්‍රිය, දක්ෂ කලාකරුවන්, දේශපාලකයින් ව්‍යාපාරිකයින් සහ රටට වැඩක් කල මිනිසුන් රැසක් මෙම භුමිය තුල මිහිදන් වෙලා තියෙනවා. ඒ අතරේ අනගාරික ධර්මපාල තුමන්, ඩෙන්සිල් කොබ්බෑකඩුව, ලලිත් ඇතුලත්මුදලි, එච් . ආර්. ජෝතිපාල , මිල්ටන් මල්ලවආරච්චි , පියදාස සිරිසේන ශුරින් පානදුරේ අරියදම්ම ස්වාමින් වහන්සේ , ක්ලැරන්ස් විජේවර්ධන වගේ චරිත රැසක් සිටිනවා.

   එදා මෙදාතුර ඉතිහාසයේ බොරැල්ල කනත්තට වැඩිම පිරිසක් එක්රැස් වුන මලඟම විදියට සැලකෙන්නේ එච්. ආර්. ජෝතිපාලයන්ගේ  සහ ඊට සතියකට පෙර පැවති රමණි බර්තොලමියුස්ගේ මලගමයි.

   හැටේ දශකයේ මුල් භාගයේදී  මෙම භුමියේ අඩි 9 x 4 භුමි කොටසක් අලෙවි වෙලා තියෙන්නේ රුපියල් 56 ක් වගේ මිලකටලු අද වෙද්දී ඒ ප්‍රමාණයේ  වළක් රුපියල් ලක්ෂ 20 කාටවත් ගන්න බැරි තත්ත්වයක් ඇති බවයි කියවෙන්නේ. කොහොමවුනත් ලංකා ඉතිහාසයේ අමිහිරිම මතකය වුන 1983 ඇවිලුන කළු ජුලිය ආරම්භ වීමට හේතුව වී ඇත්තේද  බොරැල්ල සුසාන භුමිය හා බැඳී සිදුවීමක් වෙන අතර අවුරුදු 170 කට ආසන්න ඉතිහාසයක් ඇති බොරැල්ල සුසාන භුමිය ගැන සටහන නවත්තන්න කලින් මෙයත් ලියන්න වුවමානමයි.

   බිය විය යුත්තේ මියගිය මිනිස්සුන්ට නොව ජිවත් වුනත් හදවත් මියගිය මිනිස්සුන්ටයි.

 

තොරතුරු අන්තර්ජාලයෙනි