ඩෙංගු ගැන යමක්

2019-06-28


   අපි එදිනෙදා ජීවිතය ගත කරද්දී අපි අතින් මඟ හැරෙන , අපි අතින් අතපසු වෙන යම් යම් දේවල් නිසා හොඳ හොඳ  පාඩම් ඉගෙන ගන්නවා. හැබැයි ටික කාලෙකින් අපිට ඒවා අමතක වෙනවා. පහුගිය කාලේ බෝම්බ ගහයි ගහයි කියලා බයේ හිටියා ඒ නිසා හොඳ අවධානෙකින් ගමන් බිමන් ගියා. ඒත් දැන් මතකද ? නෑ නේද? අනිත් කාරණේ තමයි ඩෙංගු. ඩෙංගු වසංගත තත්ත්ව පවතින කාල වලදී ඔන්න අපි වත්ත සුද්ද කරනවා, මදුරුවෝ ඇඟේ වහන්නේ නැති වෙන්න පැඟිරි තෙල් ගානවා. ජරමර ගොඩයි. හැබැයි ආයේ ටික කාලයක් යනකොට ඒවා අමතකයි. මේ දවස්වල වැස්ස වහිනවා. ඒ එක්කම ඔන්න දැන් තැන් තැන්වල ආයෙමත් ඩෙංගු හිස ඔසවන්න පටන් අරන්. ඒ නිසා මේ ලිපියෙන් මම ලියන්නේ ඩෙංගු ගැන අපි දැන ගතයුතු වටිනා කරුණු කීපයක් ගැන.

   ඩෙංගු කියන්නේ අප්‍රිකානු වචනයක් . එකේ තේරුමෙන් කියවෙන්නේ අස්ථි බිදෙන සුළු කියලයි. ඩෙංගු රෝගයේදී අස්ථි බිඳීමක් වුනේ නැති වුනාට අස්ථි වල වගේම හන්දිපත් වල ඇතිවෙන වේදනාව දරුණු හින්දා තමයි මෙහෙම කියන්නේ. ඩෙංගු කියන්නේ ලෝකයේ උෂ්ණ කලාපීය රටවල ඇතිවෙන රෝගයක්. ඒ නිසාමද මන්දා ලංකාවේ  නම් අවුරුද්ද පුරාවටම මේ රෝගීන් වාර්තා වෙනවා. ඒ වගේම අප්‍රේල් මාසේ පටන් ගන්න නිරිත දිග මෝසම් වැස්සත් එක්කම මේ රෝගීන්ගේ වර්ධනයක් දකින්න පුළුවන්. ශ්‍රී ලංකාව මුහුණ පාන බරපතල සෞඛ්‍ය ගැටළුවක් තමයි මේ ඩෙංගු කියන්නේ.

   මේ කියන ඩෙංගු රෝගයේ ලක්ෂණ තියෙන රෝගියෙකු මුලින්ම වාර්තා වෙලා තියෙන්නේ 1780 වසරේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා නගරයෙන් හැබැයි  ඩෙංගු රක්තපාත තත්වයක් වාර්තා වෙන්නේ 1953 දී පිලිපීනයෙන්. ඉන් පස්සේ ඒ අසල්වැසි රටවල ඉන්දුනීසියාව , තායිලන්තය ඇතුළු දකුණු ආසියාතික රටවල මේ රෝගය පැතිරිලා ගිහින් තියෙනවා. කොහොම වුනත් ලංකාව තුල මේ රෝගය  මුලින්ම වාර්තා වෙලා තියෙන්නේ 1965 අවුරුද්දේදී. එදා ඉඳන් අද වෙනකන්ම විටින් විට වසංගත තත්ත්ව ඇති කරමින් ඒ වගේම එන්න එන්න දරුණු වෙමින් පවතිනවා.

   මේ දරුණු රෝගය ඇති වෙන්නේ ඉතා කුඩා වෛරසයකින් කියලා 1907 දී හොයාගෙන තියෙන්නේ ඇස්බන් සහ ක්‍රොග් කියන විද්‍යාඥයින් දෙන්නා. ඩෙංගු රෝගය ඇති කරන්නේ අර්බෝ වෛරස ගණයට අයිති වෙන ෆ්ලෙවිවරස් වර්ගයේ වෛරසයකින් කියලා හොයාගෙන තියෙනවා. මේ වෛරසයේ වර්ග 4 ක් තියෙනවා ඒවා D1 , D2,D3,D4 විදියට නම් කරලා තියෙනවා. අඩු පාඩුවක් නැතුව මේ 4 ම ලංකාවේ තියෙනවා. මේ වෛරස අතරින් D2 සහ D3 තමයි ලංකාවේ වැඩි වැඩියෙන් පැතිරිලා වසංගත තත්ත්ව ඇති කරන්නේ.

   අපි හැමෝම දන්නා විදියට ඩෙංගු රෝගයේ රෝග වාහකයා වෙන්නේ මදුරුවෝ. ඒඩිස් ඉජිප්ටයි සහ ඒඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරු විශේෂ දෙක තමයි ප්‍රධාන වාහක මදුරු විශේෂ දෙක වෙන්නේ. සාමාන්‍යයෙන් මේ මදුරුවන්ව අඳුරගන්න තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ මදුරුවන්ගේ ඇඟේ  සහ කකුල්වල සුදු තිත් තියෙන එක . දැන් ඉතින් මදුරුවාගේ නම දැනගත්තා මදුරවව අඳුරනවා කියල එයා අපිව නොකා ඉන්නේ නෑ හොඳේ. ලෝකේ පුරාම ඒඩිස් මදුරු වර්ග 950 ක් හොයාගෙන තියෙනවා ඒ අතරින් 18ක් ම අපේ රටේ ඉන්නවා කියන එක මතක තියාගෙන ඔය වටා පිටාව පිරිසිදු කරගෙන පරිස්සමෙන් හිටියොත් හොඳයි.