දෝන ඉසබෙලා ගජමන් නෝනා වුන හැටි..

2018-11-21


   දෝන ඉසබෙලා යන නමට වඩා ඇයව අප හඳුනන්නේ ගජමන් නෝනා නමින්. එයට හේතුව ඒ නමේ මොකද්දෝ සිංහල හුරුවක් ඇති නිසා කියලයි මට හිතෙන්නේ. කොහොම වුනත්  ඇය තමයි රුහුණේ මහා කිවිඳිය. ඇය නියෝජනය කරන්නෙත් මාතර සාහිත්‍ය යුගයයි.

   දොන් ෆ්‍රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල්ට දාව ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්‍රේවියෝගේ කුසින් පවුලේ දෙවන ගැහැනු දරුවා විදියට  ඇය 1746 මාර්තු 10 වනදා උපත ලැබුවා. ඇය දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල් ලෙස බෞතීස්ම ලබා තිබෙනවා. ඇගේ නමේ හෝ පියාගේ නමේ හෝ කොතනකවත් ගජමන් නමක් සඳහන් වන්නේ නැහැ. එහෙනං ඇයි ඇයව අපි ගජමන් නෝනා නමින් හඳුන්වන්නේ. ඒකට මොකක් හෝ හේතුවක් තියෙන්න ඕනේ නේ. ඒ ගැන ලියන්න කලින් මම ඔයාට ගජමන් නෝනාගේ විවාහය  ගැනත් කියන්නන්.

   ගජමන් නෝනා කියන්නේ දෙවතාවක් විවාහ වූ කාන්තාවක්. නමුත් ඇයට සාර්ථක විවාහ දිවියක් ගෙනියන්න වාසනාවක් ලැබිලා නැහැ. ඉතිහාසයේ කියවෙන විදියට ඇය මුලින්ම විවාහ වෙන්නේ අවුරුදු 22 දියි. ඒ ගාල්ලේ තල්පේ මෙරංචිගෙයි ගර්දියෙස්‌ ආරච්චි සමඟයි. ඒ විවාහයෙන් ඇයට පුතෙක් ලැබිලා තියෙනවා. ඔහුගේ නම දොන් ජුවානිස් අල්විස්. කොහොම වුනත් අවුරුදු 2ක් ගතවෙනවාත් එක්කම ඇගේ සැමියා මරණයට පත්වෙලා. ඉතින් මේ නිසාම ඇය නැවතත් දෙමාපියන් ලඟට යනවා. පස්සේ කාලෙකදී  ඇය මාතර දොන් ග්‍රේබ්‍රියල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහම්දිරම් හා දෙවන වරටත් විවාහ වෙලා පුතුන් තුන් දෙනෙකුගේ මවක් වී තිබෙනවා. ඒ විවාහයටත් අවුරුදු 8 ක් සපිරෙද්දී ඇගේ දෙවෙනි සැමියාත් මරණයට පත්වෙලා තියෙනවා.

   ගජමන් නෝනා උපතින්ම ගෙනා කාව්‍ය හැකියාව ඔපමට්ටම් කරගන්නේ ඒ කාලේ අපේ රටේ විසූ උගත් භික්ෂුවක් වුන වේරගම්පිට විහාරයේ විසූ කරතොට ධර්මාරාම හිමියන්ගෙන් කාව්‍යශාස්ත්‍රය පිළිබඳව හැදෑරිමෙනුයි. ඇය අතින් ලියවුන පැදි පෙළවල් අතර දැඩිතර ශෝක මාලය, දෙණිපිටියේ නුග රුක වැනුම,පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය,සෙව් වික‍්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි,සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ,තිලකරත්න දිසානායක ළමාතැනී කළ පින්කම් වැණුම,තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය,මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම වගේම ඇය සහ ඇලපාත මුදලි අතර ඇතිවුන සංවාද කවි අදටත් ශ්‍රී ලාංකික පුරවැසියන් අතරේ ජනප්‍රියයි.

   දෝන ඉසබෙලා ගජමන් නෝනා උනේ කොහොමද කියන කාරණේ ගැන මට කියවන්න ලැබුනේ එක්තරා පුවත් පතක කතුවරයෙක් රත්න ශ්‍රී විජේසිංහ කවියත් එක්ක කෙරුණ කතා බහක සටහනකිනුයි. රත්න ශ්‍රී විජේසිංහ කවියා කියන විදියට  ඒ කාලේ ආණ්ඩුවෙ පඩි බෙදන නිලධාරියාට කිව්වෙ ගේජ්මන් කියලාලු. ඔය ගජමන් නෝනාගෙ තාත්තා ප‍්‍රැන්සිස්කුත් පඩි බෙදපු කෙනෙක්.. ඉතින් මිනිස්සු එයාට ගජමන් කියන්න ඇති පහසුවට සහ සිංහල හුරුවට . ගජමන්ගෙ දුවටත් ගජමන් කෑල්ල ඒ විදිහට ආව වෙන්නත් පුළුවන්.” ඒ වගේම ඒ කාලේ සාය හැට්ට ඇඳපු කාන්තාවන්ව මිනිස්සු හඳුන්වන්නේ නෝනා කියන ගෞරවය ඇතුව නිසා තාත්තාගේ වෘත්තීය නාමය එක්ක මේ නෝනා කෑල්ලත් එකතු කරලා මිනිස්සු ඇයව තමන්ගේම ක්‍රමයකට හඳුන්වන්න ඇති.

   දෙනිපිටියේ මහා විශාල නුගරුක අද දකින්න නැතත් ඇය ඒ ගැන ලියු කවි තාමත් ඉතිරියි වගේම දෝන ඉසබෙලා පේරුමාල් මියගියත් කවිකාරිය වූ ගජමන් නෝනා අමරණීයයි.