මේ දවස්වල හැමෝම කතාවෙන පළතුර - දූරියන්

2018-07-02


මේ දවස්වල යන එන පාරවල් වල දෙපැත්තේ තියෙන පළතුරක් තමයි දූරියන් කියන්නේ. පළතුරු ලෝකේ රජ විදියට තමයි දූරියන් හඳුන්වනවා.. ශ්‍රී ලංකාවේ වගේම ඉන්දුනීසියාව, මැලේසියාව වගේ අග්නිදිග ආසියාතික රටවල මේ පළතුර හුඟක් ජනප්‍රියයි. දුරියන් වල සුවඳ නිසා තමයි මේ පළතුර ගැන හුඟක් දෙනෙක් කතා බහ කරන්නේ. මේ පළතුරේ තියෙන අධික ගන්ධය නිසා ඇතැම් පිරිස් කන්න කැමති නෑ. හැබැයි තවත් පිරිසක් දුරියන් කන්න හරිම පෙරේතයි. දුරියන් වල තියෙන සුවඳ නිසා සමහර රටවල පොදු ප්‍රවාහන සේවාවල දුරියන් ගෙනියන එක තහනම් කරලත් තියෙනවා.

දුරියන් මිල්ක්ෂේක් සහ අයිස්ක්‍රීම් විදියටත් ආහාරයට ගන්න අවස්ථා වගේම සමහර අවස්ථාවල සමහර පුද්ගලයන් දූරියන් උයලා කන අවස්ථාත් තියෙනවා. දුරියන් මදය හරිම උෂ්ණාධිකයි. දියවැඩියාව සහා උෂ්ණාධික රෝග වලින් පෙලෙන අයට නම් දුරියන් ගුණදායක නෑ. සාමාන්‍යයෙන් දුරියන් මදය විතරයි අපි ආහාරයට ගන්නේ හැබැයි දුරියන් ඇටය ඊට වඩා ගුණදායකයිලු. හැබැයි එහෙමයි කියලා දැන් දුරියන් ඇට හපලා කන්න යනවා එහෙම නෙමෙයි. දුරියන් වල ඛනිජ ලවන, විටමින්, විටමින් එ්, විටමින් බී, පොටෑසියම්, පොස්පරස්, බීටා, කැරොටින් වැනි පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වෙනවා. ඒ වගේම දුරියන් වල දත් , අස්ථි ශක්තිමත් කිරීමේ හැකියාවක් පවතිනවලු.

දුරියන් කියලා පොදුවේ හැඳින්නුවට ඒවයෙත් ප්‍රභේද කීපයක් තියෙනවා. හරියට අර අඹ වර්ග වගේ, ඔය තියෙන්නේ අල්පෝන්සු අඹ, කර්තකොළොම්බන් අඹ, විලාඩ් , ගිරා අඹ කියලා අන්න ඒ වගේ දුරියන් වලත් විවිධ රස වල විවිධ වර්ග තියෙනවා. ලංකාවේ වැඩි වශයෙන් වගා කෙරෙන්නේ කසුන් සහ අඹතැන්න  කියන දුරියන් විශේෂ දෙකලු. ඒ වගේම හුඟක් දුරියන් විශේෂවල දකින්න තියෙන කටු රහිත දුරියන් ප්‍රභේදත් තියෙනවලු.

දුරියන් කටුවල අනතුරුදායක බව දන්න හින්දා අලියෙක්වත් දුරියන් ගස් යටින් යන්නේ නැතිබව තමයි ගම්වැසියන්ගේ කතාවල කියවෙන්නේ.