ඔයා රැවුල වවනවද කපනවද? ආදාළ නෑ මෙන්න රැවුල වැවීමේ ඉතිහාසය

2018-07-12


රැවුලයි කැඳයි දෙකම බෑ. දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. මෙහෙම කතාවක් අපේ පැරැන්නො කියනවා. ඔයා අහලා ඇතිනේ නේද? හැබැයි ඉතින් අද වෙද්දී රැවුලත් බේරගෙන කැඳ ටික බටේකින් හරි බොන්න පුලුවන් තරමට කාලේ වෙනස් වෙලා. ඕනෙම දේක අතීතය ගැන හොයලා බැලුවොත් හරි අපූරු කරුණු කාරණා ටිකක් අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා. අද මම ඔයාට ලියන්න යන්නේ අපේ පිරිමි අයගේ අභිමානය ගැන. ඒ කියන්නේ රැවුල ගැන.

රැවුලේ ඉතිහාසය ගැන කතා කරද්දී අපේ ප්‍රාග් ඓතිහාසික මානවයා ගැන මුලින්ම හොයලා බලන්න වෙනවා. අද වෙද්දී පිරිමි අය රැවුල වවන්නේ තමන්ගේ පෙනුම වැඩිදියුණු කරගන්න. ඒත් ඉස්සර කාලේ අපේ ආදී මානවයො රැවුල වවලා තියෙන්නේ  

  • උණුසුම රඳවා ගන්න.
  • අනිත් අයව බය කරන්න
  • මුහුණේ සම ආරක්ෂා කරගන්න කියන කාරණා හේතුවෙන් කියලයි පර්යේෂකයො කියන්නේ.

පරණ ශිෂ්ඨාචාර වල රැවුල වවන එක ගෞරවයක් විදියටයි සලකලා තියෙන්නේ. ඒ හින්දම රැවුල කැපීම දඬුවමක් විදියට ලබා දෙන්නත් පෙළඹිලා තියෙනවා. දිගට වැවුන රැවුලෙන් අල්ල ගත්තම ඕනෙම කෙනෙක් මෙල්ල කරන්න පුළුවන් හින්දා ක්‍රි. පූ. 345 දී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා තමන්ගේ සොල්දාදුවන්ට රැවුල වවන එක තහනම් කරලා තියෙනවා. ඔන්න ඔය හින්දා රැවුල වවන්න තිබ්බ පිරිමි අයගේ උනන්දුව ටිකක් අඩුවෙලා තියෙනවා. ඒ වගේම අපේ අතීත මුතුන්මිත්තන් මේ රැවුල ගැන කොයිතරම් අභිමානයකින් කටයුතු කරලා තියෙනවද කියනවා නම් කෙනෙක් තමන්ගේ රැවුලෙන් අල්ලන එක තමන්ට කරපු අපහාසයක් විදීයට තමයි සළකලා තියෙන්නේ. රැවුල ගැන කතා කරද්දී තවත් මට මුණ ගැහුණ  විශේෂ කාරණයක් තමයි ලෝකේ පුරාම ගුවන් නියමුවන්ට රැවුල වවන්න තහනම් කියන දේ.

ඒ අයගේ ඔක්සිජන් ආවරණය මූණට හරිවිදියට සම්බන්ධ කරන්න ඕන හින්දා තමයි මේ විදියට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. සමහර හමුදා සෙබලුන්ටත් මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි රටින් රටට ඒක වෙනස්. සමහර නිළ ඇඳුම් වල කොටසක් විදියට රැවුල සලකද්දී රැවුල පොඩ්ඩක් හරි වැවිලා තියෙන එක නිළ ඇඳුමට කරපු අපහාසයක් විදියට සලකන අවස්ථාත් තියෙනවා කියලයි මට දැනගන්න ලැබුනේ.

රැවුල කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. රැවුල් ගහ කියන්නේ ඉතාම ශක්තිමත් දෙයක්ලු. තඹ , ඊයම් තරමටම ශක්තිමත් කියලා තමයි වැඩිදුරත් කියන්නේ. එක් පුද්ගලයෙක් තමන්ගේ රැවුල වවන්න ජීවිත කාලය ඇතුලේ පුදුම ශක්තියක් වැයකරනවා කියලා දැනගන්න ලැබුනා. ඒ ශක්තිය හරියට රාත්තල් 100 ක බරක් උස්සගෙන පඩිපෙලක පඩි 100ක් නගිනවා වගේ දෙයක් කියලයි කියන්නේ. බලන් යද්දී රැවුල වවන එකත් ලේසි නෑ නේද?

අද ඉතින් රැවුල කපන්න විවිධ උපකරණ තිබුණට ඒ කාලේ රැවුල කපන්න ඒවා තිබුණේ නෑනේ. ඉතින් ඒ හින්දා අඩුව පුරවගන්න අතීත මුතුන් මිත්තන් පාවිච්චි කරලා තියෙන්නේ මුවහත් කරපු ගල් පතුරු. ඒ වගේම චීන ජාතිකයන් රැවුල උගුල්ලන ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම සමහර අප්‍රිකානු ගෝත්‍රිකයන් රත් කළ තැටියක් යොදාගෙන රැවුල පුච්චලා කෙටි කරලා තියෙනවලු. ඒ වගේම රැවුල විවිධ හැඩවලට හදාගන්න උණ පතුරු, මෝරදත් වීදුරු කටු ගිනිගල් වගේම ආයුධත් පාවිච්චි කරලා තියෙනවා.

ඉස්සර පුද්ගලයො රැවුල වවලා තියෙන විදිහෙන් පුද්ගලයෙක් ගේ තත්ත්වය තේරුම් අරන් තියෙනවා කියලා මට දැනගන්න ලැබුනා.යටි රැවුල වවන එක  පුද්ගලයෙක් ගේ ඇසූ පිරූ තැන් ඇති බව ,උගත්කම , දාර්ශණිකත්වය සංකේතවත් කරලා තියෙනවා. ඒ වගේම උඩු රැවුල වවන එකෙත් තේජාන්විත  භාවය පෞර්ෂ්‍යය ඔප්නැංවෙනවා කියලා තමයි අතීත සමාජය පිළි අරගෙන තියෙන්නේ. ඒ වගේම යටි රැවුල දිගට වවලා යටින් ගැටයක් ගැහුවම ඔහු හුඟක් බුද්ධිමත් පුද්ගලයෙක් කියලා තමයි එදා සමාජය පිළි අරගෙන තියෙන්නේ. අදනම් ඉතින් කොණ්ඩ රැවුල වවන හුඟ දෙනෙක් කලාවට සම්බන්ධයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.

අද වෙද්දී අපේ රටේ බදු ගැන  නිතර කතාවෙනවනේ, ඔයා දන්නවද රැවුල් වලටත් බදු ගහපු කාලයක් තිබුණා කියලා. හැබැයි ඒ අපේ රටේ  නම් නෙමෙයි. රුසියාවේ හිටිය පීටර් කියන රජ කෙනෙක් පුද්ගලයෙක් ගේ රැවුලට  බදුගහල තියෙනවා. රැවුලේ  දිග  අඩු වැඩි වෙද්දී බදු මුදලත් අඩු වැඩි උනා කියලා තමයි දැනගන්න ලැබුණේ. ගල් පතුරු වලින් වීදුරු වලින් රැවුල් කපපු මිනිස්සු තාක්ෂණික  අතින් දියුණු වෙද්දී දැලි පිහි  නිපදවන්න පුරුදු වෙලා තියෙනවා. මුලින්ම දැලි පිහියක්  නිර්මාණය වෙලා තියෙන්නේ 19 වෙනි සියවසේදී. 19 වෙනි සියවසේ මුල් කාලේදි අද පාවිච්චි වෙන රේසරය ලෝකෙට හඳුන්වලා දීල තියෙන්නේ "කිං කූපර් ගිලට්" කියන ඇමරිකානු ජාතිකයෙක්. ඔහුට ගෞරවයක් විදියට අද වෙනකම්ම රේසරයට " ගිලට් " කියන නම පාවිච්චි වෙනවා.

හරි ඉතින් දැනට ඔය ඇති. කොහොම වුනත් රැවුල ගිනි අරන් වගේ එහෙ මෙහෙ දුවන අය, රැවුල ගිනි අරන් ඉන්න අයගෙන් සුරුට්ටු පත්තු කරන අය වගේම රැවුලයි කැඳයි දෙකම බේරගෙන වැඩකරන අයටත් පේන්න එක්ක මේ ලිපිය share කරන්න අමතක කරන්න එපා.

ඖෂංගි ගායනා සේනානායක