ඔයාගේ හිතත් තැන තැන දුවනවද?

2019-05-24


   ඕනෑම වැඩක් සාර්ථකව කරගන්න අපි තුල තියෙන්නම ඕනේ ගුණාංගයක් තමයි ඒ දෙය කෙරෙහි අපි දක්වන  අවධානය. අපි ගොඩක් වෙලාවට යම් යම් දේවල් වලින් අසාර්ථක වෙන්නේ අපේ තියෙන නොහැකියාව , අදක්ෂකම නිසා නෙමෙයි. අපි අතින් අපේ අවධානය ගිලිහීම නිසා. සමහර වෙලාවට අපි විභාග වලින් පවා අසමත් වෙන්නේ තමන්ගේ අධ්‍යාපනය කෙරෙහි පුර්ණ අවධානය නොදෙන හින්දා මිසක් දක්ෂතාවයක් නොමැති නිසා නෙමෙයි.

   Microsoft ආයතනය විසින් කරන ලද පරීක්ෂණයකට අනුව මිනිස්සුන්ගේ අවධානය රඳවා ගැනීමේ හැකියාව Gold Fish මාලුවන්ටත් වඩා අඩුයි. Gold Fish මාළුවන්ට එකම දෙයක් කෙරෙහි තත් 9 කට ආසන්න කාලයක් එක දිගට අවධානය යොමු කල හැකි වුනත් මිනිසාට එම හැකියාව පවතින්නේ තත් 8 ක් විතරයි. ඒ කියන්නේ ස්වභාවයෙන්ම අපේ අවධානය බිඳෙන සුළුයි. මේ නිසාම අපි තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා. අපිට එක වෙලාවක හිතන්න පුළුවන් සහ කරන්න පුළුවන් වෙන්නේ එක වැඩක් විතරයි. ඒ නිසයි වැඩ කීපයක්‌ එක වර කරන්න ගියාම අපි අනාගන්නේ. ඔබේ වැඩ කටයුතු වල යම් සාර්ථකත්වයක් දකින්න ඕනේ නම් වැඩ කොයිතරම් ගොඩ ගැහිලා තිබුනත් මේ මොහොතේ ඔබ කරන වැඩේ කෙරෙහි විතරක් අවධානය දෙන්න පුරුදු වෙන්න.

   අපිට අපේ අවධානය ඕනෑම දෙයක් කෙරෙහි රඳවා ගන්න පුළුවන් කාලය සීමිතයි. හැබැයි අපිට පුළුවන් අපේ මනස මේ සඳහා හුරුකරගන්න. ඒකට අපි කරන්න ඕනේ බොහොම සුළු දෙයක් විතරයි. හිතන්නකෝ ඔයා පාඩම් කරන කෙනෙක් කියලා. ඔයාට පුළුවන් විනාඩි 25 ක් එක දිගට පාඩම් කරලා විනාඩි 5ක විවේකයක් ගන්න. ආයෙමත් විනාඩි 25 ක් පාඩම් කරලා විනාඩි 5 ක් විවේක ගන්න. මේ ක්‍රියාවලිය ඔයා 4 සැරයක් කළා කියන්නේ ඔයා පැයකුත් විනාඩි 40 ක් ඒ කියන්නේ විනාඩි 100 ක් හොඳ අවධානයකින් පාඩම් කළා කියන එකයි. ඒ වගේම මොලයට අවශ්‍ය කරන විවේකයත් මොලයට ලැබිලා තියෙන නිසා වෙහෙසක් දැනෙන්නෙත් නෑ.

   පොඩ්ඩක් හිතලා බලන්න අඩු කාලයකින් ඉවර කරන්න පුළුවන් වැඩක් වුනත් සෑහෙන කාලයක් අරන් අත ගගා ඉන්න පුද්ගලයෝ අපි අතරේ කොයිතරම් ඉන්නවද කියලා. එහෙම වෙන්නේ ඒ පුද්ගලයන්ට තමන්ගේ වැඩේ කෙරෙහි අවධානය තබා ගන්න බැරි වෙන නිසයි. වෙන වෙන දේවල් වලට මනස යොමු වෙන නිසයි. අපේ අවධානය බිඳ වැටෙන්න හේතුවෙන බාහිර සාධක ගොඩක් තියෙනවා. උදාහරණයක් විදියට වටේ පිටේ සද්ද ගොඩක් තියෙන කොට අපිට පාඩම් කරන්න බැහැනේ. ඇතැම්විට සමහර පුද්ගලයෝ හින්දා , විවිධ ශබ්ද හින්දා , ගොඩක් දුරට අපේ දුරකථනය නිසා අපේ අවධානය බිඳ වැටෙනවා. අන්න ඒ වගේ ඔයාගේ අවධානය බිඳ වට්ටන දේවල් වල ලැයිස්තුවක් හදාගන්න. ඊට පස්සේ පුළුවන් තරම් ඒ දේවල් මඟ හැරලා තමන්ගේ වැඩ කටයුතු වල නිරත වෙන්න.

   අපේ අවධානය පුළුල් කරගන්න නම් අපි ඒ සඳහා අපේ මනස පුහුණු කල යුතු වෙනවා. අවධානය රඳවා ගැනීම වෙනුවෙන් අපේ මනස පුහුණු කිරීමට අපිට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා.  ව්‍යායාම කිරීම, ව්‍යායාම කිරීමෙන් අපේ ශාරීරික සුවතාවය විතරක් නෙමෙයි මානසික සුවතාවයත් වර්ධනය වෙනවා. සංගීතයට ඇහුම් කන් දීම. ගීතයකට සවන් දෙද්දී ඒ ගීතයෙන් කියවෙන දේ පිළිබඳව අපේ මනස අවධානය යොමු කරනවා. ඉතින් ඒ හරහා අපිට අපේ අවධානය වැඩි දියුණු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම අත් අකුරු ලිවිම , භාවනා කිරිම වගේ දේවල් වලින් අපිට අපේ මනස අවධානය රඳවාගැනීම සඳහා පුහුණු කරවන්න පුළුවන්