ඔයත් සැපට නිදාගන්න කැමති ද?

2019-05-23


   අපි හැමවෙලේම දෙයක් පටන් ගනිද්දී ඒ වෙනුවෙන් සුදානම් වෙනවා. සැලසුම් කරනවා. අලුත් දවසක් උදාවෙද්දී වුනත් අපි එහෙමයි. උදේට දත් මැදීම , වේලාවට අවදි වීම වගේ උදෑසන පුරුදු ක්‍රමවත්ව පවත්වාගෙන යන්නේ එයින් යම් හානියක් දවසේ ඉදිරි වැඩ කටයුතු වලට සිදුවීම වලක්වා ගන්නයි. පහුවදා දවස නැවුම්ව පහසුවෙන් පටන් ගන්න අපිට හොඳ නින්දක් ලබා ගැනීම අවශ්‍යයි. ඉතින් මේ කියන්නේ යන්නේ සුවබර නින්දක් ලබා ගන්න ඔබ පවත්වා ගත යුතු පුරුදු කීපයක් ගැනයි

1)   තේ කොපි හවස 4 න් පස්සේ තහනම්

 

   ලංකාවේ අපි හැමෝම තිබහක් දැනුනම කම්මැලි කමක් දැනුනම උදේ දවල් රෑ කියලා වෙනසක් නෑ තේ හරි කොපි කෝප්පයක් හරි වක්කරගෙන බොනවා. මේ පානයන්ගේ අඩංගු වෙලා තියෙන කෆෙන් කියන සංඝටකය අපේ මනස අවධියෙන් තියාගන්න අපිට උදව් වෙනවා. ඒ නිසා රාත්‍රියේදී සුවබර නින්දක් බලාපොරොත්තු වෙන කෙනෙක් හවස 4 න් පස්සේ තේ කෝපි බොන එක නවත්තන්න ඕනේ. ඕනෙම නම් හර්බල් හරි කැෆෙන් අඩංගු නොවන තේ විශේෂයක් තෝරාගෙන බිව්වට කමක් නෑ.

 2)  පැය ගානක් නිදා ගත්තත් නැගිටිනකොට තෙහෙට්ටුද?

 

   රෑට වේලාසන නිදා ගත්තත් , පැය ගානක් එක දිගට කිසිම බාධාවක් නැතුව නිදාගත්තත්  පහුවදා උදේට අවදිවෙන්න අපහසුවක් දැනුන අවස්ථා ඔබටත් තිබිලා ඇති. උදේ පාන්දරට ඇඟට මහන්සියක් තෙහෙට්ටුවක් දැනෙද්දී , ඇඟට පන නෑ වගේ දැනෙද්දී උදෙන්ම ඇහැරෙන්න නෙමෙයි තවත් ටිකක් කෝට්ටේ බදාගෙන නිදාගන්න තමයි හිතෙන්නේ. නිකමටවත් හිතලා තියෙනවද ඇයි එහෙම වෙන්නේ කියලා? මෙහෙම වෙන්නේ අපේ ශරීරයේ තියෙන ජලප්‍රතිශතය අඩුවුනාම. ඒ නිසා රෑට හොඳ සනීපෙට නිදාගෙන පහුවදා උදේට හොඳ සනීපෙට නැගිටින්න නම් දවස පුරාම හොඳට වතුර බොන්න ඕනේ

 3)  දාඩිය පිටින් නිදාගත්තොත් සොරිම තමයි

 

   රාත්‍රියට හොඳ නින්දක් ලබාගන්න අපිට උදව් වෙන ඊළඟ කාරණය තමයි අපේ පිරිසිදුකම. දවසට දෙපාරක් දත් මදින්න ඕනේ කියලා දැනන් හිටියට කීයෙන් කි දෙනාද රෑට දත් මදින්නේ නේද? රෑ නින්දට යන්න කලින් රස්නේ වතුරෙන් ඇඟ සෝදාගන්න පුලුවන්නම් ඒක අපේ නින්දට ලොකු උදව්වක් වෙනවා. මද රස්නෙන් ඇඟ සෝදාගෙන ආවම අපේ ශරීරය නැවතත් සුපුරුදු කාමර උෂ්නන්ත්වයට හැඩගැහෙන්න පටන් ගන්නවා. අන්න ඒ ක්ෂණික උෂ්ණත්ව වෙනස නිසා අපව සුවබර නින්දකට යොමු කරනවා.

 4)  ෆෝන් එක ඇඳට ගෙනියන්න එපෝ

 

   නිදා ගන්න පැය භාගයකට කලින් ඉඳලම පරිගණක තිර, දුරකථන තිර වලින් ඈත්වීම ඔයාට සැප පහසු නින්දකට මඟ පාදනවා. මෙම තිර වලින් නිකුත් කෙරෙන නිල්පාට ආලෝකය අපේ ඈස් සහ මනස වෙහෙසට පත් කරනවා. ඒ නිසා ඇඳට ෆෝන් එක අරගෙන යන එක අදම නවත්තන්න. ඒ වෙනුවට ගෙනියන්නම ඕනේ නම් පොතක් අරගෙන යන්න. විනාඩි 6ක කියවීමකින් අපේ මනසේ පීඩනය අඩු කරලා නිදහස් මනසක් ඇති කරනවා. එයින් ඔබේ නින්දට පහසුවක් ඇති කරන නිසා සැපේ නිදා ගන්න පුළුවන්.

 5)  භාවනාවක් කරන්න පුලුවන්නම්

 

   දවස පුරාම එක එක මිනිස්සු මුණ ගැහිලා විවිධ ප්‍රශ්න වලට මුණ දීලා මුළු ඔළුවම ගිනි අරන් ඉන්න ඔයාට එක පාරටම නිදා ගන්න අමාරුයි. ඔයා නිදා ගත්තත් ඔයාගේ මනස වැඩනේ ඒකනේ අපිට හීන පෙන්නේ. ඉතින් නිදා ගන්න කලින් පුංචි පැය භාගයක් භාවනාවක් යෝග ව්‍යායාමයක් කරන්න පුළුවන්නන් ඔයාගේ මනස නිදහස් කරගන්න ඒක උදව්වක් වේවි. නපුරු හීන පෙනිලා සැරේ නින්දෙන් අවදි වෙන එක මේකෙන් ඔයාට අඩු කරගන්න පුළුවන් වේවි.