සිහිගිරිය සීගිරිය වෙද්දී පිදූ අරං ගල පිදුරංගල වූ කතාව ..

2018-09-28


   සීගිරිය කියන්නේ දෙස් විදෙස් ලාංකිකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වුන සංචාරක ගමනාන්තයක්. නමුත් සීගිරියට කිලෝමීටර් 2ක් තරම් නුදුරින් පිහිටි පිදුරංගල ගැන සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වුනේ මේ මෑත කාලිනවයි. පිදුරංගල මුදුනේ සිට සීගිරි ගල පසුබිමෙන් පෙනෙන විදියට ලබාගත් ඡයාරූප Facebook හි විවිධ පුද්ගලයින් පළකිරීමත් සමඟ පිදුරංගල කෙරෙහි සංචාරක ආකර්ෂණය වැඩිවුනා කිව්වොත් හරියටම හරි.ඒත් මේ රැල්ල අවසානයේ නතර වුනේ තරුණ පිරිමි ළමුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්වීමෙන්.

   අපි ඇවිදින්න යන්න ආසයි, අපි විනෝද චාරිකාවක් යන්නේ විනෝද වෙන්න තමයි. හැබැයි අපි යන්නේ කොතනටද ගිහින් හැසිරෙන්න ඕනේ මොන විදියටද කියන එක අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි කියන එකයි මගේ නම් අදහස.

   කොහොම වුනත් මම මේ ලිපිය ලියන්න හිතුවේ පිදුරංගල ඇති ඓතිහාසික පසුබිම ගැන සොයා බැලීමයි.ඇත්තටම පිදුරංගල ඇති ඓතිහාසික වටිනාකම මොනවගේද? අතීතයේ එක තැනක කියවෙන විදියට කාශ්‍යප රජතුමා සිගිරිය තමන්ගේ බලකොටුව බවට පත්කරගන්න කලින් එහි මහරහතන් වහන්සේලා වැඩසිට තිබෙනවා. සිගිරි කාශ්‍යප රජතුමා සිගිරිය ආලකමන්දාවක් බවට පත්කරද්දී භික්ෂුන් හට එහි වැඩ වාසය කිරීමේ අපහසුතාවක් පැන නැගී තිබෙනවා. ඉතින් මේ නිසා සීගිරියට නුදුරින් ආරණ්‍ය සේනාසනයක් කරවා භික්ෂූන් වෙනුවෙන් පුදන්න කාශ්‍යප රජතුමා කටයුතු කර තිබෙනවා. කාශ්‍යප රජතුමා විසින් පිදුව ආරණ්‍ය ගල , එහෙම නැතිනම පිදු අරං ගල පහුකාලිනව පිදුරංගල ලෙස ජනවහරට එක්වන්නට ඇති බවයි කියවෙන්නේ.

   ඒ වගේම ශිලා ලේඛන වල සඳහන් වෙන විදියට කාශ්‍යප නිරිඳුන්ගේ දියණිවරුන් සහ රජුගේ නමද යොදාගනිමින් ඈත අතීතයේදී මේ විහාරය බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය හෙවත් බෝ උපුල්වන් කසුප්ගිර වෙහෙර නමින් ද හඳුන්වා තිබෙනවා.

   පිදුරංගල පර්වත මුදුනෙහි ස්වාභාවික ලෙනක නිර්මාණය කරලා තියෙන සැතපෙන පිළිම වහන්සේ සිගිරි කාශ්‍යප රජුගේ අවධියට අයත් බව එච්. සි.පි බෙල් මහතාගේ වගේම සෙනරත් පරනවිතානයන්ගේද අදහස වී තිබෙනවා, තම පියා මැරීම පිළිබඳව දැඩි ශෝකයෙන් පසු වෙච්ච කාශ්‍යප රජතුමා වැඩි වශයෙන් බුදුදහමට යොමු වූ බවත් ඒ නිසාම නිරන්තරයෙන් පිදුරංගල විහාරස්ථානය වන්දනා මාන කල බවත් කියවෙනවා.

   එමෙන්ම මහා වංශය ලියු මහාවිහාරික මහානාම හිමියන්ද කලක් මෙහි වාසය කිරීමත් කාශ්‍යප නිරිඳුන්ගේ අවධානය මෙම විහාරස්ථානය කෙරෙහි යොමුවන්නට තවත් හේතුවක් වන්න ඇති. මහානාම හිමියන් කියන්නේ නෑදෑකමින් ධාතුසේන රජතුමාගේ මාමා කෙනෙක්. සොලී ආක්‍රමණ පැවති කාල වකවානුවේ ධාතුසේන රජතුමාවත් කාශ්‍යප හා මුගලන් අතර පැවති සටන් වලදී කාශ්‍යප රජතුමාටත් ආරක්ෂාව සලසන්නේ මේ මහානාම හිමියනුයි. ඉතින් ඒ නිසාම කාශ්‍යප රජතුමා මහාවංශය ලියු මහානාම හිමියන් සමඟ බොහොම සමීප ඇසුරක් පවත්වා තිබෙන බව පෙනියනවා.

   ඉතිහාසයේ තවත් තැනක කාශ්‍යප නිරිඳුන්ගේ අවසන් කටයුතු පිදුරංගල විහාරයේ සිදුකල බවත් කියවෙනවා. ඒ වගේම පිදුරංගල කඳු මුදුනට යන අයෙක්ට දැක ගත හැකි තවත් දෙයක් තමයි ඒ මත ඇති සුවිශේෂී පිහිටීමක් සහිත ගල් ගෙඩිය, මේ පිළිබඳවත් විවිධ මත සඳහන් වෙනවා. සතුරු ආක්‍රමණ ගැන බියෙන් පසු වුන කාශ්‍යප රජතුමා එවන් අවස්තාවක් කල් තියා දැනගන්න හිතාගෙන මේ ගල මෙහි මුදුනත රදවා තබන්න ඇති යන්න එක මතයක් එහිදී එම ගල පෙරලා දැමීමෙන් සීගිරියේ සිටින රජුට ඒ බව දැනගත හැකියි.

   එදා සිගිරිය හා බැදී පැවතුන පිදුරංගල ගැන අපට ඇත්තේ අල්ප දැනීමක් බව අප තේරුම් ගත යුතුයි. සිගිරියට පැමිණෙන සංචාරකයින්ගෙන් අඩක්වත් මෙම පිදුරංගල භූමියට එන්නේ නැතිවුනත් පිදුරංගල පර්වත මුදුනට පැමිණෙන පිරිසෙනුත් සීමිත පිරිසක් තමයි පිදුරංගල විහාර සංකීර්ණය වැඳපුදා ගන්නේ. ඉතින් මේ සා වටිනාකමක් හිමි පිදුරංගල නොදැන නෙමෙයි දැනගෙන යායුතු ගමනක් බව අපි හැමෝම තේරුම් ගත යුතුයි.

   ඖෂන්ගි ගායනා සේනානායක.