උපුල්වන් දෙවියන් හා බැඳුන දෙවුන්දර දේවාලයේ අතීත කතාව

2019-08-01


   දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පෙරහැර දිවයිනේ පැරණිතම පෙරහැර ලෙස සළකද්දි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ලාංකීය ඉතිහාසයට එකතු වෙන්නේ දිවයිනේ පැරණිම දේවාලය විදිහටයි. යක්ෂ ගෝත්‍රික රාවණා කුමරු සහ ඉන්දියාවේ රාම කුමරු අතර පැවැත්වුන රාම රාවණා යුද්ධය ගැන ඔබ අහලා ඇතිනේ. ඉතින් ඒ අතීතය හා සමාන අතීතයක් මේ දෙවුන්දර පුරවරයට තිඛෙන බවට පැරණි පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවෙනවා. රාමගේ වඳුරු හමුදාව කඳවුරු බැඳගත් ප්‍රදේශය වඳුරුදෙණිය ලෙසත් රාවණාගේ හමුදාව කඳවුරු බැඳගත් ප්‍රදේශය රාස්සන්දෙණිය ලෙසත් හඳුන්වනවා. මේ ප්‍රදේශ දෙකම දෙවුන්දර ආසන්නයේ පිහිටා තිබීම විශේෂත්වයක්.

   රාම රාවණා යුද්ධයේදී රාවණා සිහසුන් වන ලෙස රාම දුන්නෙන් හී විද්දේ දෙවුන්දර දේවාලය පිහිටා තිඛෙන භූමියේ ඉඳලා කියලා තමයි අපට දැනගන්න ලැඛෙන්නේ. දේවාලයේ පැරණි ගල්කණුවක කොටා තියෙන දුනුවායාගේ රුව ඒ ඉතිහාසයට සාක්ෂි දරනවා. දෙවිනුවර ඓතිහාසික ගල්ගෙය නිර්මාණය වෙලා තියෙන්නේ රාම කුමාරයා අතින් බවයි කියවෙන්නේ. පෘථිග්‍රීසි යුගයේදී දෙවුන්දර භූමියේ තිබුණ දේවාලයත් විහාරයත් විනාශ කර දමා ඇති අතර ඊට පෙර මේ අඩවියේ රත් හඳුන් දේව ප්‍රතිමාවක් තිබුණ බවත් ඓතිහාසික කතන්දර වල කියවෙනවා. මඟුල් තොටට ගොඩවැඳුනු රත් හඳුන් කොටයක් ලෙසින් විෂ්ණු දෙවියන් එහෙමත් නැතිනම් උපුල්වන් දෙවියන් මේ භූමියට වැඩම කළ බවයි ජන විශ්වාස වල කියවෙන්නේ. කොහොම වුනත් මේ රත් හඳුන් කොටයෙන් නිර්මාණය කරපු දේව ප්‍රතිමාව උත්සවශ්‍රියෙන් වැඩම කරවලා දේවාලයේ ඉදිකිරීම් කටයුතු සිද්ධ කරලා තියෙන්නේ දෙවිනුවර රජකම් කරපු දාපුළුසෙන් රජතුමා. හැබැයි දඹදෙණි යුගයේ රජකම් කරපු පණ්ඩිත පරාක්‍රමභාහු රජතුමා විෂ්ණු දෙවියන්ට වුණු භාරයක් ඔප්පු කරන්න තමයි මේ ඓතිහාසික පෙරහැර ආරම්භ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ පෙරහැර වාර්ෂිකව පවත්වාගෙන යන්නත් අණ කරලා තියෙනවා.

   එදා ඉඳන් අද වෙනකන් දෙවුන්දර යන නාමය රටරටවල ප්‍රසිද්ධ වීමට හේතුවුනේ දිව්‍ය රාජභවනක් වුන උත්පලවර්ණ දේවාලය බව හැමෝම පිළිගන්න මතයක්. දාපුළුසෙන් රජ දවසේ විශ්වකර්ම දිව්‍යපුත්‍රයා අතින් නිමවූවා යැයි සැළකෙන රත් සඳුන් දේව ප්‍රතිමාව උත්සවශ්‍රියෙන් වැඩමවා පිහිටුවීමෙන් අනතුරුව මේ දේවාලයේ ආරම්භය සිදුවූවා යැයි ඉතිහාසයේ ලියවී තිඛෙනවා. ලක්දිව ඉතිහාසය ගැන අවබෝධ කරගන්න මහාවංශය වගේම සංදේශ කාව්‍යයයන් ලොකු රුකුලක් වෙනවා. එකල හිටිය කතුවරුන් රැසකගේ අවධානය දිනාගත් ස්ථානයක් විදියට දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලය හඳුන්වා දෙන්න පුළුවන්. මයුර, කෝකිල, තිසර,පරෙවි සංදේශ කාව්‍ය 4හිම දෙවුන්දර දේවාලය ගැන සඳහන් වෙලා තිබීම එයට ප්‍රධානම සාධකයක්. ඒ වගේම ග්‍රීක ජාතික ටොලමි, ඉබන්බතූතා වගේ දේශාඨකයන්ගේ සටහන් වලත් මේ දේව අඩවිය ගැන සඳහන් වෙලා තියෙනවා. එකල ජනතාව ශ්‍රී විෂ්ණු දේවාලය කෙරෙහි කොයිතරම් බැඳීමකින් කටයුතු කලාද කියලා අපිට මේ තුලින් අවබෝධ කරගන්න පුළුවන්.

   මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා තියෙන දෙවිනුවර රජමහා විහාර භූමියේ පිහිට ඇති විෂ්ණු දෙවියන්ට එහෙමත් නැතිනම් උපුල්වන් දෙවියන්ට කැපවුන හාස්කම් පිරුනු දෙවිනුවර දේවාලයේ ආරම්භය 7 වෙනි සියවසේදි පළමු දප්පුල රජතුමාගේ මුලිකත්වයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම මහනුවර යුගයේදී දෙවන රාජසිංහ රජතුමා මෙහි පිළිසකර කිරීම් සිද්ධ කරලා තියෙනවා කියලා ඉතිහාසයේ කියවෙනවා. 16 වෙනි සියවසේදි පෘතිග්‍රීසීන් විසින් මේ දේවාල භූමියත් දෙව්නුවර නගර්යත් විනාශ කරලා දානවා. අදටත් පෘතුග්‍රීසීන් අතින් විනාශ වුන දේවාලයේ නටඹුන් දේවාල භූමියට යනෙන අයට දැක බලාගන්න පුළුවන්.

   යහපත් ජීවිතයක් ගතකරමින් ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීමෙන් විෂ්ණු දෙවියන්ගේ අශිර්වාදය ලැබී සතුට සැපත සෞභාග්‍ය උදාවෙනවා.. ඒ වගේම දියුණුවට ඇති බාධා ඉවත් වෙනවා.. දාන ශීල භාවනා දී පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වෙමින් ක්‍රියාවෙන් වචනයෙන් මෙන්ම මනසින් යහපත් දේ කරමින්,කියමින්, දකිමින් දිවි ගෙවීමද. ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව වැනි සිතුවිලිවලින් සිත නිදහස්කොට ගෙන දයාව,කරුණාව,ආදරය වැනි යහපත් සිතුවිලිවලින් සිත පෝෂණය කරමින් යහපත් ලෙස ජීවත් වීමද දිව්‍ය කරුණාව සහ ආශීර්වාදය ලැබීමට හේතුවක් වෙන බව හිතට ගන්න.

   විෂ්ණු දෙවියො කියන්නේ අපේ රටට විශේෂයෙන්ම වැදගත් වෙන දෙවි කෙනෙක්. මොකද අපේ රටේ අය මේ දෙවියන්ව පිළිිගන්නේ ලංකාවත් සම්බුද්ධ ශාසනයත් රැක ගන්න ශාසනාරක්ෂක දෙවි කෙනෙක් විදිහටයි. සතර වරම් දෙවිවරු අතරින් ප්‍රධාන තැනකුත් විෂ්ණු දෙවියන්ට ලැඛෙනවා. විෂ්ණු දෙවියන්ව ලේසියෙන්ම අඳුනගන්න පුළුවන් වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ ශරීරය නිල්පාටින් පෙන්නුම් කරන හින්දා. ඒ වගේම අත් 4කින් නෙළුම් මලක්, කෞමදි යගදාව, ශංඛය සහ සුදර්ශන කියන චක්‍රායුධය දරාගෙන ඉන්නවා. හින්දු ආගමේ විදියට නම් විෂ්ණු දෙවියන් උසස්ම තත්තවයේ දෙවි කෙනෙක් කියලා තමයි සලකන්නේ. විෂ්ණු දෙවියන් මේ ලෝකෙට රූප කිහිපයකින් පහළ වුනා කියලා තමයි පිළිිගන්නේ. ඒ රූප විෂ්ණු දෙවියන්ගේ අවතාර විදියටයි හඳුන්වන්නේ. විෂ්ණු දෙවියන්ගේ අවතාර ගැන කතා කරමු අපි ඊළඟට. විෂ්ණු දෙවියන් අපේ ලෝකෙට රූප 10කින් පහල වෙලා තියෙනවලු. ඒක අපේ පැරැන්නො හඳුන්වලා තියෙන්නේ දශ විෂ්ණු අවතාර කියලා.

 

   1. මත්ස්‍ය අවතාරය

   2. කුර්ම අවතාරය

   3. වරාහ අවතාරය

   4. නරසිංහ අවතාරය

   5. වාමන අවතාරය

   6. පරශුරාම අවතාරය

   7. රාම අවතාරය

   8. ක්‍රිෂ්ණ අවතාරය

   9. බුද්ධ අවතාරය

   10. කල්කින් අවතාරය

    අපේ රටේ හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ විෂ්ණු සහ උපුල්වන් දෙවියො කියන්නේ දෙන්නෙක් කියලා. මට දැනගන්න ලැබුන විදියට නම් විෂ්ණු දෙවියො සහ උපුල්වන් දෙවියො කියන්නේ එක්කෙනෙක්.

   විෂ්ණු දෙවියො එහෙම නැත්තම් උපුල්වන් දෙවියන්ට අපේ රට රකින්න භාර කරලා තියෙන්නේ ශක්‍ර දෙවියන්ලු. ඉතින් ශක්‍ර දෙවියන් අපේ රට භාර දුන්නට පස්සේ විෂ්ණු දෙවියො අපේ රටේ දෙවිනුවර ප්‍රදේශයට කිහිරි කඳක් විදියට තමයි ඇවිල්ලා තියෙන්නේ. මුහුදු වෙරළට කිට්ටුවෙන් පාවෙවී තිබුණ කිහිරි කඳ මිනිස්සු ගොඩට ගන්න යද්දී ආයේ ඈතට යනවලු. මිනිස්සු ගොඩට එද්දී ආපහු වෙරළ කිට්ටුවට එනවලු. ඉතින් මේ ආරංචිය ලැබුණ දාපුළුසෙන් රජතුමා වෙරළට ආවා. රජ්ජුරුවො ආවා විතරයි කිහිරි කඳ වේගෙන් ඇවිත් වෙරලේ නැවතිලා තියෙනවා. රජ්ජුරුවො ඉතින් පුද සත්කාර එහෙම කරලා. කිහිරි කඬෙන් දේවරූපයක් හදන්න තීරණේ කරලා. ඒකට සුදුසු පුද්ගලයෙක් හොයන්න පටන් ගත්තලු. ඒත් කෙනෙක් මුණ ගැහිලා නෑ. හැබැයි එක අවස්ථාව හුඟක් වයසක පුද්ගලයෙක් ඇවිල්ලා තමන්ට දේවරූපයක් හදන්න පුළුවන් කියලා භාර අරගෙන තියෙනවා. ඉතින් රජ්ජුරුවො හුඟක් සතුටු වෙලා වයසක පුද්ගලයා පෙන්නපු තැන මණ්ඩපයක් හදලා කිහිරි කඳ එතනට ගෙනල්ලා දුන්නලු. පහුවදා රජතුමා එතැනට එද්දි අර වයසක පුද්ගලයා අතුරුදහන් වෙලාලු. කිහිරි කඳන් කපලා දාපු කිසිම දෙයක් එතන තිබිලත් නෑ. හැබැයි ජීවමාන දෙවි කෙනෙක් වගේ වැඩ හිටිය දේවරූපයක් එතන වැඩ හිටියලු. ඉතින් මේ දේවරූපය අශ්‍රිතව දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය ගොඩ නැඟුනා කියලා තමයි අපේ පැරැන්නො විශ්වාස කරන්නේ.

     අපිට නෑදෑයො ඉන්නවනේ. ඉතින් ඒ වගේම මේ දෙවිවරුන්ටත් නෑකම් තියෙනවා. විෂ්ණු දෙවියො කියන්නේ පාර්වතී දෙවියන්ගේ සහෝදරයා ඒ වගේම විෂ්ණු දෙවියන්ගේ බිරිඳ විදියට සලකන්නේ ලක්ෂ්මි දෙවඟනලු. අපේ අතීත පැරැන්නො විශ්වාස කරන විදියට ලංකාවේ පළවෙනි රජතුමා කියලා සැළකෙන මහා සම්මත රජතුමා මරණින් පස්සේ දේවත්වයට පත්වෙලා විෂ්ණු දෙවියන් බවට පත්වුනා කියලා තමයි සලකන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ එක් අවතාරයක් විදිහට සළකලා පුද සත්කාර කරන්න හින්දු ප්‍රජාව පෙළඹිලා තියෙනවා.

   ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර පිහිටා තිඛෙන දෙව්නුවර ශ්‍රි විෂ්ණු දේවාලය මෙරට ඉදිවුන දේවාල අතරින් පැරණිතම දෙවොලක් විදිහට අපිට අඳුනගන්න පුළුවන්. අවසානය තෙක්ම බුදුදහම පවතින රටක් විදියට බුද්ධ ශාසනයත් ඒ වගේම අපේ මේ පින්සාර මාතෘ භූමියත් රැකගන්න භාර වෙන්නේ විෂ්ණු දෙවියන්ටයි. ඉතින් මේ දෙවියන් වෙනුවෙන් ඉදිවුන දෙවුන්දර දේවාලය දේව පුරාණයේ සඳහන් වෙන බඳිරාලි විහාරය බවටත් විශ්වාසයක් පවතිනවා.