2019 වසරේ ලෝකයේ වඩාත්ම ධනවත් පුද්ගලයින් 5 දෙනා මෙන්න

2019-03-18


   Forbes සඟරාව මඟින් පහුගිය දිනෙක ලෝකයේ වඩාත්ම ධනවත් පුද්ගලයින් නම් කීරීම සිදුකෙරුනා. කාලයක් ලොව ධනවත්ම මිනිසා විදියට නම් දරා සිටි බිල් ගේට්ස් හට මේ වසරේදීත් දෙවෙනි තැනට පත් වෙන්න සිදුවෙලා. ඉතින් අපි බලමු  ලෝකයේ වඩාත් ම ධනවත්ම පුද්ගලයින් සහ ඔවුන්ගේ වත්කම් ප්‍රමාණයන් කොහොමද කියලා.

1. ජෙෆ් බේසොස් - ඩොලර් බිලියන  131 

   1994 වසරේදී Amazon සමාගම ආරම්භ කල ඔහු දැනටත් එහි විධායක නිලධාරි තනතුර උසුලනවා. මෙම වසරේ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 131 ක් විදියට සඳහන් වෙනවා. 2018 වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 19 ක වැඩිවීමක් ලෙසයි සඳහන් වෙන්නේ. සුවිශේෂීම කාරණය විදියට සඳහන් වෙන්නේ මේ වසරේදී ඔහුගේ දික්කසාදය නිවේදනය කොට තිබීමයි. ඒ අනුව ඔහුගේ වත්කමින් හරි අඩක් ඔහුගේ බිරිඳට හිමිවෙනවා. මේ නිසාම ලෝකයේ වඩාත්ම ධනවත්ම කාන්තාව බවට ඇය පත්ව තිබෙනවා.

2. බිල් ගේට්ස් - ඩොලර් බිලියන 96.5 

   1975 වසරේදී මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කරපු ඔහු මේ වෙද්දී එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා.මේ වසරේ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 96.5 ක් ලෙස සඳහන් වෙනවා. ඒ කියන්නේ 2018 වසරට සාපේක්ෂව බිලියන 6.5 ක වැඩිවීමක්. බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ සමාජ සේවාවන් සඳහා අරමුදලක් පිහිටුවා තියෙනවා. ඒ අරමුදල දැනට ලෝකයේ ඇති විශාලම අරමුදල ලෙසයි සැලකෙන්නේ. ඔහු මේ අරමුදල සඳහා වැය කරලා තියෙන මුදල ඩොලර් බිලියන 35.8 ක් ලෙස සැලකෙනවා.

3. වොරන් බෆෙට් - ඩොලර් බිලියන 82.5 

   ලොව ධනවතුන් අතරේ තුන්වෙනි ස්ථානයට පත්ව ඇති ඔහුගේ වත්කම ඩොලර් බිලියන 82.5 ක් ලෙස ෆෝබ්ස් සඟරාව සඳහන් කර තිබෙනවා. ඔහු සාර්ථක ආයෝජකයෙක් විදියටයි සැලකෙන්නේ. ඔහු සිය මුල්ම ආයෝජනය වයස අවුරුදු 11 ක් තරම් පුංචි වයසකදී ආරම්භ කල බවයි සඳහන් වෙන්නේ. දැනට සමාගම් 60 කට වඩා වැඩි ප්‍රමාණයක අයිතිකරුවෙක් වන ඔහු ද ඔහුගේ වත්කමින් ඩොලර් බිලියන 3.4 ක් බිල් ගේට්ස්ගේ අරමුදල සඳහා බැර කර ඇති බවද සඳහන්.

4. බර්නාඩ් අර්නල්ට් - ඩොලර් බිලියන 76

   louis Vuitton ඇතුළු සුප්‍රසිද්ද සන්නාම 70 කට අධික ප්‍රමාණයක හිමිකාරිත්වය දරන ඔහු ලොව සිව්වන ධනවතායි.ඔහුගේ වර්තමාන වත්කම ඩොලර් බිලියන 76 ක් ලෙස සඳහන් වෙනවා. 

5.කාලෝස් ස්ලිම් - ඩොලර් බිලියන 64 

   මෙක්සිකෝවේ ධනවත්ම පුද්ගලයා වන කාලෝස් ස්ලිම් හා ඔහුගේ පවුල ලතින් ඇමෙරිකාවේ වඩාත්ම විශාලම දුරකථන සන්නිවේදන සමාගම වන America Movilහි අයිතිකරුවන් වෙනවා. ඔහු හා ඔහුගේ පවුල සතුව වර්තමානයේ ඇති වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 64ක් ලෙස යි සඳහන් වන්නේ.