පැය 4ක් මී මැස්සන් 60000 ක් මුහුණේ රඳවා ගත්ත තරුණයා

2020-06-25


   සාමාන්‍යයෙන් මීමැස්සන් රංචුවක් ගහක වහලා ඉන්නවා දැක්කමත් අපි ටිකක් පරිස්සම් වෙනවා. මොකද මී පැණි කොයිතරම් රසවත් වුනත් මී මැස්සෙක් විද්දම දැනෙන වේදනාව ඉහලයි නේ නේද? හැබැයි මම දැන් මේ කියන්න කාරණේ ඇහුවම නම් ඔයාට හුඟක් පුදුම හිතෙයි. කේරලයේ නේචර් එම් . එස් නමින් හඳුන්වන පුද්ගලයෙක් අරුම පුදුම ගිනස් වාර්තාවක් පිහිටුවලා තියෙනවා. වාර්තාවේ කියවෙන විදිහට මේ පුද්ගලයා මීමැස්සන් 60 000 ක් පැය 4 යි විනාඩි 10 යි තත්පර පහක කාලයක් පුරා තමන්ගේ හිසේ සිට උරහිස දක්වා කොටසේ රඳවාගෙන ඉඳලා තියෙනවා. මේ චායාරුප වල පේන විදියට ඔහුගේ මුහුණ පවා මී මැස්සන්ගෙන් ආවරණය වෙලයි තියෙන්නේ.

   නේචර් එම් එස් කියන්නේ වෘත්තියෙන් මී මැසි පාලකයෙක්.  දැනට වයස අවුරුදු 24ක් වෙන මේ තරුණයා පුංචි කාලේ ඉඳලම මී මැස්සන් හා හැදුන වැදුන පුද්ගලයෙක්. ඔහුගේ පියා මී මැසි පාලනය හා මි පැණි නිෂ්පාදන කටයුතු වල නිරත වීම නිසා ඔහුට කුඩා කාලයේ ඉඳලම මී මැස්සන් හා හැසිරිය යුත්තේ කොහොමද කියලා ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

   ඔහු කියන විදියට මී මැස්සන් තමන් ගේ ශරීරය මත මේ විදියට රඳවා ගන්න ඔහු පටන් අරන් තියෙන්නේ වයස අවුරුදු 7 දී. දවසක් ඔහු මී මැසි රැජිණක් තමන්ගේ අත මත තියාගෙන ඉඳලා තියෙනවා. ඉන්පස්සේ ටික වෙලාවක් ඇතුලත ඔහුගේ මුළු අතම මී මැස්සන්ගෙන් වැහිලා ගිහින් තියෙනවා. මී මැස්සන් එහෙම හැසිරෙන්නේ තමන්ගේ රැජිණ ආරක්ෂා කරන්න බව ඔහු පවසනවා. ඉන්පස්සේ දවසක් ඔහු මී මැසි රැජිනව තමන්ගේ හිස උඩින් තියාගෙන තියෙනවා. එදත් අර වගේම මී මැස්සන් රංචු පිටින් ඇවිත් ඔහුගේ හිසේ වහලා තියෙනවා. ඔහු කියන විදියට නම් තමන්ගේ අතින් ඔවුන්ට වරදක් සිදුවුනොත් මිසක් මී මැස්සන් කවදාවත් ඔහුට හිංසා කරන්නේ නැතිලු.

   කොහොම වුනත් මී මැස්සන් කියන්නේ සොබාදහමේ පැවැත්මට හේතුවෙන ප්‍රධාන කෘමි විශේෂයක්. ඔවුන්ගේ පැවැත්ම ලෝකයේ පැවැත්මට සෘජුව බලපෑම් කල හැකි නිසා ඔවුන් සුරැකීම අත්‍යවශ්‍ය බවද දැනගන්නට ලැබෙනවා.