ඉක්මණින් බිඳවැටෙන නව පරපුරේ ආදරේ

2018-07-03


ආදරේ කියන්නේ හරිම සුන්දර දෙයක් . නව යොවුන් වියේ ඉඳලම අපිට ආදරණිය හැඟීම් දැනෙන්න පටන් ගන්නවා. ඒත් ඒ දැනෙන ආදරේ තරම අපිට තේරුම් යන්නේ අපි ටික ටික වයසට ගිහින් ආදර සම්බන්ධතා වල නියම අත්දැකීම් ලැබුවට පස්සේ.

ජිවිතේ පලවෙනි හුස්ම ටික ගත්ත වෙලාවේ ඉඳලා අපි මොනතරම් සම්බන්ධතා ගොඩ නගා ගන්නවද? අම්මා , තාත්තා, සහෝදර සහෝදරියෝ , නෑදෑයෝ , යහළු යෙහෙළියෝ , අසල්වාසීන්. ඒත් මේ සම්බන්ධතා අතරේ වුනත් අපි අපිටම වෙන්වුන විශේෂ කෙනෙක් හොයනවා. ඒක තමයි විරුද්ධ ලිංගික ආකර්ෂණය කියන්නේ.  ඉතින් අපි කැමති විදිහේ රූපයක් කැමති විදිහේ ගතිගුණ තියෙන කෙනෙක් අපිට මුණ ගැහුණම අපි ඒ කෙනත් එක්ක ආදරයෙන් බැඳෙනවා. අපි ආදරේ කරන මුල් කාලේදී අපිට මුණ ගැහුන කෙනාගේ හිත දිනාගන්න ඕනෙම දෙයක් කරනවා. එයාව මුණගැහෙන්න යන්නේ පුළුවන් තරම් හැඩවෙලා. පිරිමි ළමයෙක් නම් සල්ලි කියක් හරි වැඩිපුර හොයාගෙන තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් ඒ එකතු කරගත්ත මුදලෙන්  තෑග්ගක් එහෙම අරගෙන තමයි යන්නේ. එතකොට ගෑනු ළමයි තමන් මේ ලෝකේ හොඳම ගෑණු ළමයා වගේ හරිම නිවුන බොළඳ පෙම්වතියගේ චරිතය රඟපානවා. ඉතින් කාලයක් යද්දී මවාගත්ත චරිත ඇතුලේ තියෙන නියම ස්වරූප එලියට එනවා. නොගැලපීම් මතුවෙන්න පටන් අරන් සම්බන්ධතා බිඳවැටෙනවා.

අද කාලේ ආදර කතා හුඟක් බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් විදියට මම දකින තව දෙයක් තමයි මේ Social Media. ඒක social media වල වරදක් නෙමෙයි . ඒක අපි පාවිච්චි කරන විදිහේ වැරැද්ද. දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක විවිධ වර්ගයේ App තරුණ පරම්පරාව පාවිච්චි කරනවා. කළු කොල්ලෙක් ට කෙල්ලෙක්ට වුනත් කිරි සුදු පාට හමක් තියෙන විදියට Edit කරලා චායාරුප දාන්න පුළුවන්. ඉතින් ඒ photo වලට රැවටිලා online ආදර සම්බන්ධතා ගොඩනගා ගන්න ආදර වන්තයින් ආදරවන්තියන් අප අතර ඉන්නවා. දෙන්නට දෙන්නා මුනගහෙන්නත් කලින්ම Relationship status දානවා. දෙන්නට දෙන්නා දන හඳුනා ගන්නත් කලින් ඒ දෙන්නගේ සම්බන්ධය ගැන සමාජය දැනුවත් වෙලා ඉවරයි. පලවෙනි දවසේ මුණ ගැහෙද්දි ඉන්නේ බලාපොරොත්තු වුන කෙනා නෙමෙයි. photo එකේ හිට්යේ මෙයාමද කියලා හිතාගන්න බෑ . ඒතරම්ම සැබෑ රුපෙයි චයාරුපෙයි වෙනස්. ඉතින් සම්බන්ධතාවය පවතියි ද?

අනිත් දේ අන්තර්ජාලයේ දකින අසභ්‍ය වීඩියෝ දකින නව පරපුරේ පිරිමි ළමයි හිතාගෙන ඉන්නේ ඒ හැමදේම ඉක්මනින් අත්දකින්න ඕනේ කියලයි, ඒකට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ පෙම්වතිය. ඉතින් දුරදිග බලන්නේ නැතුව දෙන්න තනිවෙන්න උත්සහ කරනවා. ආදරේ නාමෙන් Room ගියපු අහිංසක කෙල්ලෙක් ආයෙමත් එලියට එන්නේ කාන්තාවක් වෙලා,. නියම විදියට ආදරේ කරන පිරිමියෙක් හැමවිටම තමන්ගේ පෙම්වතියගේ ගෞරවය ආරක්ෂා කරනවා.

ආදර සම්බන්ධයක් පවතින්න දෙන්නෙක් හොඳින්ම ගැලපෙන්න ඕනේ නෑ. හැබැයි ගලපාගෙන ජීවත්වෙන්න දෙන්නටම වුවමනාවක් තියෙන්න ඕනේ.  දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි ඒ වුවමනාව නැති වුනොත් ඒ සම්බන්ධතාව බිඳ වැටෙනවා. තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරනවා නම් එයත් එක්ක රණ්ඩු කරගෙන ගහ මරාගන්න යන එක තේරුමක් නැති දෙයක්. එහෙම රණ්ඩු කරන එකෙන් එයාට තවත් ඔයාව එපා වෙනවා. ඔයාගේ ආදරේ එපා කියලා යන කෙනෙක්ගේ පස්සෙන් ගිහින් ඔයාට ලැබෙන දෙයක් නෑ. ඒකෙන් ඔයාට ඔයාගේ වටිනා කාලය නැති වෙනවා.

මේ ලෝකේ ආදර සම්බන්ධතා බිඳ වැටුන පලවෙනි පුද්ගලයා ඔයා නෙමෙයි. ජිවිතේ වැරදි තීරණ ගත්ත එකම කෙනත් ඔයා නෙමෙයි.  අඬන්න ඇති වෙනකන් අඬල හිත ඉක්මනට හදා ගන්න. ඔයාගේ ආදර සම්බන්ධය බිඳ වැටුනේ ඔයාගේ අඩුපාඩුවක් ඔයාගේ වරදක් හින්දද කියලා අවංකව හිතලා බලන්න. එහෙනම් ඒ අඩුපාඩුව ඔයා හදාගන්න. සම්බන්ධයක් බිඳ වැටුන ගමන් තවත් සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න යන්න එපා. දුර්වල මනසකින් ගන්න තීරණ වරදින්න තියෙන ඉඩ හරි වැඩියි. ඉස්සෙල්ලම තමන්ව ගොඩ නගා ගන්න. සාර්ථකත්වය හොයාගන්න. අද ඉන්න තැනට වඩා එක අඩියක් හරි ඉස්සරහට යන්න.  ජිවිතේ ආදරය කියන්නේ එක කොටසක්. ආදරේ තමයි මුළු ජීවිතේම කියලා හිතපු මිනිස්සුන්ට සෑහෙන්න වැරදුනා. හැබැයි ආදරේට අවංකව ආදරේ කරන්න. මොකද ජිවිතේ හමුවෙන සුන්දරම දේ ආදරේ නිසා.