ඔබත් නින්දෙන් ගොරවනවද?

2018-07-12


මේ ප්‍රශ්නේ කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයා කියන්නේ නෑ මම නම් නින්දෙන් ගොරවන්නේ නෑ කියලයි. හැබැයි ඔය ප්‍රශ්නේ ඔයාගේ බිරිඳගෙන් එහෙම නැත්නම් සැමියාගෙන් එකට බෝඩිමේ නිදාගන්න යාලුවගෙන් එහෙම නැත්තන් ගෙදර කෙනෙක්ගෙන් ඇහුවනම් ඔයා ගොරවනවද නැද්ද කියලා මට හරියටම දැනගන්න පුළුවන්. අපි ගොරවනවද නැද්ද කියලා දැනගන්න තියෙන ලේසිම ක්‍රමේ ඒක. ඒ වගේම දවල් වරුවේ ඔයාට නිදිමතක් දැනෙනවා නම් , එහෙම නැත්තම් උදේට නැගිට්ටම ඔලුවේ කැක්කුමක් එනවා නම් ඒ කියන්නේ ඔයත් රෑට නින්දෙන් ගොරවන කෙනෙක් වෙන්න පුළුවන්.

නින්දෙන් ගොරවන එක සාමාන්‍ය දෙයක් කියලා හිතුවට ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඔයා නිදා ගනිද්දී ඔයාගේ ශ්වාසනාලය  ආශ්‍රිතව තියෙන පේශි ලිහිල් වෙනවා. සමහර අයගේ මේ තත්ත්වය හරිම වැඩියි. ඉතින් ඒ නිසා ශ්වාස නාලය අවහිර වෙලා හුස්ම ගන්න අපහසු වෙනවා. ඒක තමයි ගොරවනවා කියලා කියන්නේ. 

අපේ ශරීරයේ සිද්ධ වෙන සියලුම ක්‍රියාවලි වලට ඔක්සිජන් ඕනේ. අපි ගොරවන්නේ හුස්ම ගන්න එකට බාධක ආවමනේ. ඒ කියන්නේ ගොරවන පුද්ගලයෙක්ට රාත්‍රී නින්දේදී ශරීරයේ ක්‍රියාකාරිත්වයට ඕන කරන ඔක්සිජන් ලැබෙන්නේ නෑ. මේ නිසා මොළයේ සෛල මියයාම, හෘදය ,රුධිර නාල හානි වීම වගේ රෝගී තත්වයන් ඇතිවෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයත් අධික ලෙස ගොරවන කෙනෙක් නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ප්‍රතිකාර ගන්න එක හුඟක් හොඳයි.