අපේ පැරැන්නෝ කාපු බීපු හැටි

2020-01-01


   ඔයා අහලා තියෙනවා නේද කාලයක් අපේ රටට පෙරදිග ධාන්‍යාගාරය කියලා කිව්වා කියලා. ඒත් දැන්නම් අපේ රටට හාල් පිට රටිනුත් ගෙන්නනවා කියලා දැනගන්න ලැබෙනවා. අපේ රටේ තුන්වේලටම බත් කන මිනිස්සුනේ වැඩි හරියක් ඉන්නේ. අද වෙද්දී අපි වැඩි වශයෙන් ආහාරයට ගන්න හාල් වර්ග කීපයක් තමයි සම්බා , නාඩු , කැකුළු , බාස්මතී කියලා කියන්නේ. ඒත් අතීතයේදී අපේ මුතුන් මිත්තෝ ආහාරයට ගත්ත ගුණදායක හාල් වර්ග මීට වඩා වැඩි ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒ අතරින් සමහරක් හාල් වර්ග දැනට අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඒත් වාසනාවකට වගේ තවමත් අපේ පැරැන්නෝ ආහාරයට ගත්ත ධාන්‍ය වර්ග හාල් වර්ග බොහොමයක් අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ ධාන්‍ය විශේෂ වගා කිරීම සිදුවෙන්නේ හරිම අඩුවෙන් නිසා ටිකක් මිලෙන් අධික නිසා අපි මේවා ආහාරයට එකතු කරගන්න පෙලබෙනවා අඩුයි. නමුත් අඩුම තරමින් සතියකට වරක් වත් මේ ධාන්‍ය විශේෂ අපේ ආහාරයට එකතු කරගන්න පුලුවන්නම් ඒක හරිම වටිනවා. මොකද මේ ධාන්‍ය විශේෂ වල තියෙන ගුණය අපේ ශරීර සොඛ්‍ය යහපත්ව පවත්වා ගන්න ලොකු පිටිවහලක් වෙන නිසා. අපේ පැරැන්නන් සතුව තිබුන ආහාර සංස්කෘතිය ඔවුන්ව නිරෝගී මෙන්ම ශක්ති සම්පන්න පිරිසක් බවට පත් කොට තිබුනා . ඉතින් ඒ අතීත ආහාර , ආහාර පිසීමේ ක්‍රම වේද ගැන අපි පොඩ්ඩක් කතා කරමු.

   අපේ පුරාණ ශ්‍රී ලංකාවේ ජිවත් වුන ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය බවට පත් වෙලා තියෙන්නේ බත් සහ ධාන්‍ය විශේෂයි. ඒ නිසා ඔවුන් අතර වී වර්ග 1000 කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය භාවිතයේ පැවතිලා තියෙනවා. ඒ අතරින් දැනට වී විශේෂ තුන්සිය දාහතක් හඳුනාගෙන ඇති බව කියවෙනවා. ඊට අමතරව හේන් ගොවිතැන ආශ්‍රිතව තල , මුන් , මාස , මෙනේරි , කුරක්කන් , තනහාල් , උඳු , කඩල , පරිප්පු , සහ කව්පි  වගා කරන්නත් ආහාරයට ගන්නත් අපේ පැරැන්නෝ හුරුවෙලා  හිටිය  බව දැනගන්න ලැබෙනවා. . ඒ වගේම මේ ධාන්‍ය සහ සහල් පිසීමටද ඔවුන් අනුගමනය කර ඇති ක්‍රමද විවිධාකාරයි. ඒ අතරින් බත්කැඳ‚ කිරිබත්‚ අඹුල් බත්‚ සීනි සමග පිසූ බත්‚ හීල් බත්‚ කහ බත්‚ මුං බත්‚ඇගිටි හාල් බත්‚ කුඩු බත් ආදිය විශේෂයි.

   මීට  අමතරව ධාන්‍ය වර්ග අඔරා එයින් කැඳ හා රොටී සාදාගෙන අහාරයට එක කරගන්න ඔවුන් හුරුව සිට තිබෙනවා. ඔවුන්   ධාන්‍ය වර්ගවලින් සාදාගත් කැඳ වර්ග තුනක් ගැන කට වහරින් පැවතෙනවා.  ඒ  ලුණු කැඳ‚ කොළ කැඳ හා කිරි කැඳයි. අතීතයේ කැඳ වට්ටෝරු තුන්සියයක් (300) පමණ පැවති බවට සාක්ෂි තිබේ. පැරණි රජවරු ගිලනුන්ට නිතිපතා බෙහෙත් කැඳ දී ලබා දෙන්න කටයුතු කල බව ඉතිහාස කතා වල සඳහන් වෙනවා.  බටු කැඳ‚ කොහිල කැඳ‚ අබ කැඳ‚ පොල්පලා කැඳ‚ හාතාවාරිය‚ ඉරමුසු‚ රණවරා‚ ගොටු කොළ ආදිය ඒ අතරින් කීපයක් විතරයි. ඔවුන්  උදේ ආහාරය සඳහා ද කැඳ පානය කොට ඇති අතර ඇතැම් කොළ වර්ග ඖෂධීය පානයක් ලෙස ද පානය කර  තිබෙනවා. ඒ වගේම සහල් පිටිවලින් සාදන ලද කැවිලි වර්ග සහ පැණි රස වර්ග පිළිබඳව පැරණි මූලාශ්‍රවල සඳහන් වේ. අලුවා‚ හැළප‚ වැලිතලප‚ පැණි වළලු‚ දොදොල්‚ ලාලු‚ කිරි රොටී ආදිය උදාහරණ විදියට අපිට කියන්න පුළුවන්ඒ වගේම ප්‍රණීතාහාර මධුරාහාර හෝ අවුල්පත් යනුවෙන් මේවා  හඳුන්වන්න ඔවුන් හුරුවී සිට තිබෙනවා.  යාබද කැලෑ වල ගෙවතු වල වවාගත් පලා වර්ග , එළවලු  ඔවුන්ගේ බත් පතේ ප්‍රධාන අංගයක් බවට පත්වීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් වීමට කොයිතරම් බලපාන්න ඇතිද? ශ්‍රී ලාංකික අපිට කවදත් හුරු හොඳින් කුළුබඩු යොදා උයපිහාගත් ආහාර වර්ගය.

    ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතියේ දෛනික ආහාර වේලට එකතු වූ වැදගත් ආහාරයක් විදියට මස් හා මාලු පෙන්වා දිය හැකියි. පුරාණ ලංකාවේ ජනප්‍රියව පැවැති මස් වර්ග අතර මුව මස්‚ ගෝන මස්‚ එළු මස්‚  ඌරු මස්‚ මොනර මස්‚ ගිරා මස්‚ වටු මස්‚ පැවති තිබෙනවා. ඒ වගේම ගවමස් කෑම රාජ උදහසට ලක්වන්නන් බවට පත්ව තිබීමද විශේෂයක්. ඒ අතරේ  මිරිදියෙහි වාසය කළ ලූලා‚ මඩකනයා‚ මගුරා‚ කාවයියා‚ පෙතියා‚ ඉස්සන්‚ කකුළුවන් වැනි මාඵ වර්ග ද අපේ පැරැන්නන් ආහාරයට එකතු කරගෙන තිබෙනවා.. එහෙත් කරදිය මාලු ආහාරයට එක්කරගෙන ඇත්තේ මෑත කාලීනව බවයි කියවෙන්නේ. ආහාරය එකතු කරගත් බිත්තර වර්ග අතර කුකුළු‚ තාරා‚ කළුකුම්‚ කැස්බෑ ආදි සතුන්ගේ බිත්තර විශේෂ රැසක් තිබෙනවා. දැන් පරම්පරාවන්  ක්ෂණික ආහාර කටට හුරු කරගත්තද එදා අපේ පැරැන්නන් මිරිස්‚ වගපුහුල්‚ ඉගුරු‚ අබ‚ දුරු‚ කහ‚ සුදුඵෑණු හා කුරුදු මෙන්ම දෙහි‚ ගොරකා‚ සියඹලා‚ නාරං‚ රම්පේ‚ කරපිංචා ආදිය යොදා උයා පිහාගත් එළවලු මස් මාළු එක්ක බඩ පුරා කෑ බිව් බව ඉතිහාසගත මුලාශ්‍ර වල පවා සඳහන් ව තිබෙනවා දකින්නට පුළුවන්.

   ඒ වගේම ශ්‍රී ලංකික පැරැන්නන්ගේ ආහාර සංස්කෘතිය තුල තවත් ප්‍රධාන තැනක් ලැබුන දෙයක් තමයි කිරි කියන්නේ.  ගව කිරෙන් සාදාගත් කිරි‚ දී‚ ගිතෙල්‚ වෙඩරු හා මෝරු යන පස්ගෝ රස ඔවුන්ගේ ආහාර වේල් තවත් සශ්‍රික කර තිබුනා. මෙවන් ආහාර සංස්කෘතියක් තිබුන අපට අද ඉතිරි වී ඇත්තේ මොනවාද කියා හිතලා බලනවා නම් අපි මෙතරම් දුර්වල වීමට , රෝගී වීමට හේතු සොයාගත හැකි වේවි.

Owshangi Gayana Senanayaka. - තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.