ගීත කෝකිලාවිය නික්ම යයි

2019-04-01


   හද විමන් දොරින් , නුපුරුදු හැඟුමකි ,ඉර සඳ වැඳලා , සඳ තනිවෙලා අහසේ , මට ආසයි හිනැහෙන්න මුළු ජිවිතේ ඇතුළු අතිශය ජනප්‍රිය ගී රැසක් තුලින් අප සවන් සැනසූ ඇය අද නිවී ගිය තරුවක් වී අවසානයි.

   1939 වසරේදී මාතර දී උපත ලැබූ ඇය හත් දෙනෙක් ගෙන් යුතු පවුලේ බාලම දියණියයි. ඇය නමින් ඇන්ජලින් ද ලැනරෝල් වුවාය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත වූ සිය පියාගේ ස්ථාන මාරුවක් නිසාවෙන් ඇයට මාතරින් කොළඹට ඒමට සිදුවුණා. පසුකාලීනව ලෙස්ලි ගුණතිලක මහතා සමඟින් විවාහ වූ ඇය පසුකාලීනව ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල ඇන්ජලින් ගුණතිලක නමින් ජනප්‍රියත්වයට පත්වුණා. ඇය දෙදරු මවක්. 

   චිත්‍රපට පසුබිම් ගායනය තුළ දිදුලන කටහඬක් වූ ඇය චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ සොහොයුරෝ චිත්‍රපටය හරහා වුවත් ඇය සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ආදර අඹරේ කියන ස්වතන්ත්‍ර ගීතය හරහා බවයි දැනගන්න ලැබෙන්නේ. 5000 කට ආසන්න ගී නිර්මාණ රැසකට සිය හඬ මුසුකල ඇය සම්මානනීය ගායිකාවක් වුවා. 

   ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2019 වසරේ අප්‍රේල් මස 02 වන දින බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.