මේ දවස්වල වඩාත් කතාබහට ලක්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉතිහාසය

2018-07-20


ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ ගාලු කොටුවට ආසන්නව ඉන්දියන් සාගරයට මායිම්ව පිහිටා තියෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ආසන්නයේ ඉදිවුන අනවසර ඉදිකිරීමක් කඩා බිඳ දැමීම සම්බන්ධව තමයි මේ දවස්වල ලොකු කතා බහක් යන්නේ. ඒ ගැන ඉතින් හැමෝම කතා බහ කරන හින්දා මට හිතුනා මේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සුන්දර ඉතිහාසය ගැන හොයලා බලන්න ඕනේ කියලා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය 1876   තුරඟ තරඟ පවත්තන බලාපොරොත්තුවෙන් තමයි මුලින්ම ඉදිවෙලා තියෙන්නේ. හැබැයි කාලේත් එක්ක රේස් තරඟ වලට වඩා ක්‍රිකට් තරඟ පවත්වන්න මේ ක්‍රීඩාංගණය පාවිච්චි කරලා තියෙනවා. මේ නිසා 1927 දී ක්‍රිකට් ක්‍රීඩාංගණයක් විදියට නම් කරනවා.

පසුකාලීනව ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රමිතීන් වලට අනුකුලව මෙම ක්‍රීඩාංගණය වැඩි දියුණු කෙරෙන අතර ටෙස්ට් තරඟ පවත්වන්න සුදුසු 7 වන ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බවට පත්වෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වුන පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ 1998 අවුරුද්දේ ජුනි මාසේ 3 වෙනිදා. ඒ ශ්‍රී ලංකාවත් නවසීලන්තයත් අතරයි. මේ තරඟයේ ජයග්‍රහණය හිමි කරගන්න ශ්‍රී ලංකාව වාසනාවන්ත වෙනවා. ඒ වගේම 1998 අවුරුද්දේ ජුනි මාසේ 25 වෙනිදා ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වුන පලවෙනි එක්දින තරඟය පැවැත්වෙන්නේ ශ්‍රීලංකාව සහ අසල්වැසි ඉන්දියාවත් එක්කයි.

2004 අවුරුද්දේ ඉන්දියානු සාගරයේ ඇතිවුන භුකම්පනයත් එක්ක ඇතිවුන සුනාමි තත්ත්වය හින්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට දැඩි ලෙස හානි සිද්ධ වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී පිඩාවට පත්වුණ ජනතාව වෙනුවෙන් තාවකාලික නවාතැන් පොලක් විදියට මෙම ක්‍රීඩාංගනය භාවිතා කිරීමත් එක්ක මේ ක්‍රීඩාංගනයේ තත්ත්වය තවත් අසතුටුදායක තත්ත්වයට පත්වෙනවා.

මෙම ක්‍රීඩාංගණය අද පවතින තත්වයට පත් කරන්න ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩක ෂේන් වෝන්ගේ වගේම එංගලන්ත ක්‍රීඩක ඉයන් බොතම් ගේ ආධාර ලැබුන බව කියවෙනවා. ප්‍රතිසංසකරණ වලින් පස්සේ ක්‍රීඩාංගණය නැවත තරඟ සඳහා මුල්ම වරට විවෘත වෙන්නේ 2007 දෙසැම්බර් 17 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා අතිනුයි. එදිනම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟයක් පැවැත්වෙනවා හැබැයි මේ තරඟය නිමාවෙන්නේ ජය පරාජයකින් තොරවයි.

කියන විදියට නම් මේ ක්‍රීඩාංගනය වඩාත් සුදුසු වෙන්නේ දඟ පන්දු යවන්නන්ටයි. ගාල්ල ක්‍රීඩාංගණයේ මුල්ම ටෙස්ට් ශතකය වාර්තා කරන්නේ මහේල ජයවර්ධනයි. ගාල්ල ක්‍රීඩාංගනයේ එක්දින ශතකයක් වාර්තා කරලා තියෙන එකම ක්‍රීඩකයා වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමේ සොලමන් මිරෙයි. ගාල්ල ක්‍රීඩාංගනයේ වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගන්න සමත්වුණ ක්‍රීඩකයා වෙන කවුරුත් නෙමෙයි ඒ තමයි අපේ මුරලි දරන්. මහේල ජයවර්ධන තමයි ගාලු ක්‍රීඩාංගනයේ වැඩිම ලකුණු ලබා ගත්ත ක්‍රීඩකයා වෙන්නේ.

ඉතින් මේ විස්තර හොඳයි කියලා හිතෙනවනම් තවත් කෙනෙක්ට කියවන්නත් එක්ක share කරන්න අමතක කරන්න එපා.