විහාර මහා දේවී උද්‍යානයේ ඉතිහාසය

2020-09-03


කොළඹට එන යන ඔබ අපි හැමෝම කොළඹ තියෙන කටුක පීඩාකාරී පරිසරයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අහස උසට නැගුනු ගොඩනැගිලි , වාහන වල ඝෝෂාව එක්ක කොළඹ අගනගරය ස්වභාවික පරිසරයෙන් වෙන්වෙලා හුඟක් දුර ගියපු බවක් තමයි අපිට දැනෙන්නේ. කොළඹට එන යන ඔබට ගස්වල හෙවන , සිසිලස විඳින්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් හොයාගෙන යන්න තියෙන එකම ඉඩකඩ තමයි විහාර මහාදේවී උද්‍යානය.

කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයට අයත් අක්කර සියයක් තරම් වූ මේ භුමිය 1866 දී කොළඹ නගර සභාවට පැවරෙන්නේ එවකට යටත් විජිත භාර ලේඛම් වරයා අතිනුයි. එවකට නගරාධිපති වූ සර්කියුලස් වෙතින් මෙය ජනසතු වූ නිසා මෙම භුමිය මුල්කාලීනව සර්කියුලර් ගාඩ්න් ලෙස හඳුන්වා තිබෙනවා. ඊට කාලෙකට පස්සේ බ්‍රිතාන්‍ය රැජිණගේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් 1887 වසරේදී මේ උද්‍යානය Victoria Park ලෙස නම් කර හඳුන්වන්නට පටන් ගෙන තිබෙනවා.

   දෙවන ලෝක යුද්ධය ඇතිවූ කාලයේදී ආරක්ෂක හේතුන් මත යුධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙය පවරාගෙන යුද්ධයේ නිමාවෙන් අනතුරුව ලැබුන වන්දි මුදල් ද යොදවාගෙන මෙය ප්‍රතිසංස්කරණය කර නැවත මෙය ජනතාවට පවරා දී තිබෙන්නේ 1951 ක වසරේදීයි. ඊට අවුරුදු 5 කට පසුව ඒ කියන්නේ 1956 වසරේදී බුද්ධ ජයන්ති උළෙලට සමගාමිව වික්ටෝරියා උද්‍යානය කියන නම ඉවත් කරලා ඒ වෙනුවට ශ්‍රී ලාංකික ඉතිහාසය හා බැඳුනු වීර මාතාවක් වෙන විහාරමහා දේවියගේ නමින් එක හැඳින්වීමට පියවර ගෙන තිබෙනවා.

   එතැන් පටන් මේ වනතෙක් මේ උද්‍යානය ජනතාව විසින් විහාරමහාදේවි උද්‍යානය නමින් හැඳින්වුවත් තාමත් අර පෙර පරිදි මෙම උයන Victoria park නමින් හඳුන්වන පිරිසද අපට විටින් විට හමුවෙනවා.

   විහාර මහා දෙවි උද්‍යානයේ පිහිටා ඇති එළිමහන් රංග පීඨය 1939 වසරේදී එක්වූ අංගයක් වන අතර මෙම උද්‍යානයේ නිරාවරණය කර ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ කොළඹ නගර සභාවේ ශත වර්ෂ පුර්ණ සංවත්සර සැමරුම වෙනුවෙන් මෙහි පිහිටුවා තිබෙනවා. ඒ වගේම විහාර මහා දේවි උද්‍යානයේ එක් කෙළවරක පිහිටා ඇති දරුවන් සඳහා වෙන්වූ සතුටු උයන විහාරමහා දේවි උද්‍යානයට එක්වී ඇත්තේ 1980 වසරේදීයි.

   කොළඹ කර්කශ පරිසරයෙන් මොහොතකට අත් මිදිලා ගහකොළ නිහඬ නිස්කලංක සිසිලස මොහොතකට විඳගන්න ඉඩ සලසන මේ භුමිය වසර 140 කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන බව අප මතක තබා ගත යුතු වෙනවා.