එක්සත් ජනපදයේ හැඩය වෙනස් වෙයිද?

2020-01-29


   පාරසරික  උණුසුම ඉහල යාමත් සමඟ ග්ලැසියර් දියවී යාමට පටන් ගෙන ඇති බව අපට දැනගන්න ලැබෙනවා. ඒ හා සමානව මුහුදු මට්ටම ඉහල යාම ලෝකවාසී ජනතාව මුහුණ පාන බරපතල ගැටළුවක් වී හමාරයි. අලුත්ම අධ්‍යයනයකට අනුව වසර 2100 වනවිට එක්සත් ජනපදයේ  පමණක් මිලියන 13 කට අධික පිරිසක් සිය වාසස්ථාන වලින් ඉවත් කිරීමට මුහුදු මට්ටම ඉහල යාම හේතුවක් වෙනු ඇතැයි තහවුරු වී තිබෙනවා. මෙය ගැටළුවක් වන්නේ මුහුද ආශ්‍රිතව ජීවත් වන්නන්ට විතරක් නෙමෙයි. මුහුද ආසන්නයේ ජීවත් වෙන ජනතාව රට තුලට සංක්‍රමණය වීමත් සමඟ රට අභ්‍යන්තරයේ ඉඩම් වල මිල ඉහල යාම  , ඒ ප්‍රදේශවල ජන ගහණය ඉහල යාම , රැකියා ප්‍රශ්න ඇතුළු බොහෝ ගැටළු වලට පිළියම් සෙවීමට මිනිසාට සිදුවනු ඇති. ඔවුන් පවසන පරිදි  මෙම ශතවර්ෂය අවසාන වනවිට මුහුදු මට්ටම අඩි 6කින් උස්විය හැකි අතර මේ හේතුවෙන් දකුණු ෆ්ලොරීඩාවේ , උතුරු කැරොලිනාවේ ඇතැම් ප්‍රදේශ , වර්ජිනියා , බොස්ටන් සහ නිව් ඔර්ලන්ස් යන ප්‍රාන්ත සහ ප්‍රදේශවල සිතියම් වෙනස් වන්නට ඉඩ තිබේ.  මෙය දැනටමත් ගෝලීය ගැටළුවක් වී ඇති බැවින් සියලු රටවල් මේ පිළිබඳව අවධානය යොමු කල යුතු බව මෙම අධ්‍යයනය සිදු කල පිරිස පවසනවා.