ලොව විශාලතම ගුවන් යානාව ගුවන් ගතවෙයි

2020-01-28


   පසුගිය කාලය පුරා බෝයිං 737 මැක්ස් ගුවන් යානා දෙකක් අනතුරට පත්වීම නිසා බෝයිං සමාගම අපකීර්තියට පත්වුනා. පළමු අනතුර 2018 ඔක්තෝම්බර් මාසයේදීත් දෙවන අනතුර 2019 වසරේ මාර්තු මාසයේදීත් වාර්තා වුනා මෙම අනතුරු දෙකම වාර්තා වුනේ මාස 5ක් වැනි කාල පරතරයකදී නිසා තත්වය තවත් දරුණු වුවා කීවොත් නිවැරදියි.  තත්වය එසේ තිබියදී බෝයිං සමාගම එන්ජින් දෙකක් සහිත ලොව විශාලතම ගුවන් යානය වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් වෙයි.  පෙරසඳහන් කල යානා කඩා වැටීමෙන් හානිවූ සමාගමේ නාමය යලි නඟා සිටුවීමේ අරමුණින් බෝයිං 777X ලෙස හැඳින්වෙන මෙම නවතම යානයේ අත්හදා බැලීම පසුගියදා සිදුවුනා . එක්සත් ජනපදයේ සියැටල් නගරයට නුදුරෙන් එය ගුවන් ගත කිරීමෙන් අනතුරුව පැය 4 ක් පියාසර කෙරුනා. බෝයිං 777X කියන්නේ එම ආයතනයේ සාර්ථක නිෂ්පාදනයක් ලෙස හැඳින්වෙන බෝයිං 777 මාදිලියේ වැඩිදියුණු කිරීමක් වෙන අතර මෙහි මගින් 360 කට පමණ ආසන පහසුකම් ඇති බව පැවසෙයි. එම සමාගම පවසන පරිදි දැනටමත් මෙම මාදිලියේ යානා 309 ක් සඳහා ඇනවුම් ඔවුන් වෙත ලැබී ඇති අතර එක යානාවක මිල වශයෙන් සඳහන් වෙන්නේ ඩොලර් මිලියන 442 කට අධික මුදලකි.