මානසික අවපීඩනය එහෙම නැත්නම් විශාදය ගැනයි මේ ( Depression )

2020-01-23


   මානසික අවපීඩනය කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් අත්විඳින ඒ වගේම භයානක මානසික මට්ටමක්.  ලංකාවේ සිදුවුන සියදිවි නසා ගැනීම් වලින් බහුතරයක් මෙම මානසික අවපීඩනයට ගොදුරු වීම නිසා සිදුවුන මරණ ලෙස හඳුනාගෙන තිබෙනවා.  ඒ නිසා තමයි Depression  වීම ටිකක් භයානකයි කියලා මම කිව්වේ. මොකද්ද මේ මානසික අවපීඩනය කියලා කියන්නේ ? එදිනෙදා ජීවිතේදී අපිට අපි අපේක්ෂා නොකරන දේවල් වලට මුහුණ දෙන්න සිදුවෙනවා, අපි ආදරේ කරන අයගේ වෙන්වීමක් , බලාපොරොත්තු කඩවීමක් වගේ සිදුවීමකදී අපිට දුකක් කනගාටුවක් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් මානසික අවපීඩනය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් හිතේ ඇතිවෙන දුකක් කලකිරීමක් තනිවිමක් වගේ හැඟීමක් සිතෙන් ඉවත් නොවී දිගටම පැවතීම , තමන්ගේ ඒ හිතේ ඇතිවෙන හැඟීමට කිසිම හේතුවක් නැතිවීම , හිතේ පවතින ඒ ස්වභාවය නිසා එදිනෙදා වැඩකටයුතු කරගැනීමට අපහසු වීම අපි මේ කතා කරන මානසික අවපීඩන තත්වයක් විය හැකියි.

   මානසික අවපිඩනයෙන් පෙලෙන පුද්ගලයින් සතුව විවිධ රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. උදාහරණයක් විදියට තමන් වෙනදට කැමැත්තෙන් සිදුකරන දේවල් වල යෙදෙන්නට කිසිම කැමැත්තක් නැති වෙන්න , මහන්සි වෙලා වැඩක් නොකලත් සිතට ගතට දැනෙන මහන්සිය , අවධානය අඩුවීම සහ හිත එකතැනක පවත්වා ගැනීමේ නොහැකියාව , සිතේ ඇතිවෙන අවිවේකි බව නිසා නිතර කේන්ති ගැනීම , ආත්ම විශ්වාසය අඩුවීම , ලිංගික ආශාව අඩුවීම හෝ නැතිවීම , නින්ද නොයෑම හෝ නින්ද අඩුකම , අධික නිදිමත හෝ නිතර නිදා ගැනීම , සමාජ ආශ්‍රයෙන් ඈත් වීම , නිතර කල්පනා කීරීම , මත්පැන් මත්ද්‍රවය සඳහා ඇබ්බැහි වීම , සිය දිවි නසා ගැනීමට උත්සහ කිරිම දක්වන්න පුළුවන් .

   මේ Depression කියන තත්වය ඇතිවෙන්නේ අසාර්ථකත්වයට පත්වුන , අපේක්ෂා බිඳ වැටුණු පුද්ගලයන්ට විතරක්ම නෙමෙයි. තමන්ගේ විෂය ක්ෂේත්‍රයන් තුල ඉතාම සාර්ථකත්වයට පත්ව සිටින පුද්ගලයන්ට වුවත් මෙම රෝගී තත්වය ඇති විය හැකියි. අධික කාර්ය බහුලත්වය වගේ කාරනා වලදීද මේ මානසික තත්වය ඇති විය හැකි බව පැවසෙනවා. මතුපිටින් නොපෙනෙන කිසිඳු හේතුවක් නැතුව වුනත් මේ depression තත්වය ඇතිවිය හැකි බව කියවෙනවා . සමහර මව්වරුන්ටත් තමන්ගේ දරු ප්‍රසුතියෙන් පසුව මේ තත්වය ඇතිවෙනවා . එය හඳුන්වන්නේ postal natal depression යනුවෙනුයි. කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම වයස පුද්ගලයෙක් මේ තත්වයට ගොදුරු විය හැකි වුනත් වයස අවුරුදු 12 ට පහල දරුවන් මේ තත්වයට ගොදුරු වෙන ප්‍රමාණය හරිම අඩු බවයි දැනගන්න ලැබෙන්නේ . කොහොම වුනත් පිරිමි සහ කාන්තා පාර්ශ්ව අතරින් මානසික අවපීඩනය වඩාත් ගොදුරු වෙන්නේ කාන්තාවනුයි.

   මෙවැනි තත්වයකට ගොදුරු වූ පුද්ගලයන්ට වඩාත් අවශ්‍ය වන්නේ අවධානය සහ ආදරයයි. ඔවුන්ගේ ගැටළු ගැන උවමනාවෙන් ඇහුම් කන් දෙන්න පුළුවන් නම්  මේ  තත්වයට ගොදුරු වූ පුද්ගලයෙක් සිය දිවි නසා ගැනීමේ තත්වයට පත් නොවී ගලවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඖෂධ ප්‍රතිකාර සහ විද්‍යුත් කම්පන ප්‍රතිකාර හරහා මේ රෝගී තත්වයෙන් මිදීමට අවස්තාව ලැබෙනවා. ඔබගේ පවුලේ යම් කෙනෙක් මානසික අවපීඩනයට ගොදුරු වී ඇතැයි සිතෙනවා නම් ඔහුට හෝ ඇයට ආදරයෙන් සලකන්න, ඔහු හෝ ඇයට ඇහුම්කන් දෙන්න , ඔවුන්ගේ ජිවිතයේ තීරණ ගැනීමට උදව් කරන්න , ඔවුන් හැසිරෙන විලාසයට දොස් පැවරීමෙන් වලකින්න . ඔවුන් කලකිරීමට දුකට පත්වුන කරුණු ඔවුන්ගේ හිතින් ඈත් කරන්න උත්සහ කරන්න.

   ඔබත් සමඟින් හොඳින් හිනාවෙලා කතා කරන මතුපිටින් විනෝදයෙන් ඉන්නවා යැයි සිතන පුද්ගලයින් පවා මෙම මානසික අවපිඩනයෙක් පෙලෙන දැවෙන පුද්ගලයෙක් වෙන්නට පුළුවන් . ඒ නිසා ඔබේ ආදරණීයයන් ගැන අවධානයෙන් ඉන්න.